(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කාන්තා කමිටුව අහෝසි කර පිහිටුවන කාන්තා කොමිසමට කාන්තාවන්ගේ ප්‍රශ්න සඳහා නීතියෙන් මැදිහත් වීමට පූර්ණ බලය ලැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්  මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමැතිය සඳහා වන විවාදය අරඹමින් අමාත්‍යවරිය මේ බව කීවාය.

අප අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකව තිබූ කාන්තා කමිටුව අහෝසි වී කාන්තා කොමිසම  තවදුරටත් ස්ථාපිත කෙරෙනවා.කාන්තාවන් හිංසනයට ලක් වූ විට ඒ පිළිබඳව දැන්වීම සඳහා පැවැත්වුණු කාන්තා කමිටුවට නීතිමය කටයුතු සඳහා මැදිහත්වීමට බලතල තිබුණේ නැහැ.මේ වන විට නීතිය බලගැන්වීම සඳහා අවශ්‍ය වන ලැබෙන පැමිණිලි පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට හෝ අධිකරණයට යාමට කාන්තා කමිටුවට  හැකියාවක් තිබුණේ නැහැ නමුත් මේ ආරම්භ කරන කාන්තා කොමිසමට පරීක්ෂණ පැවැත්වීමට සමථයකට පත් කිරීමට සහ නීතිමය කටයුතු සඳහා සම්බන්ධ වීමට කාන්තා කොමිසම හැටියට බලතල තිබෙනවා.කාන්තා කමිටුව ක්‍රියාත්මක වුණේ අමාත්‍යාංශයේ වාර්ෂික ප්‍රතිපාදන මතයි.නමුත් කාන්තා කොමිසම ඒකාබද්ධ අරමුදල මගින් ඍජු මූල්‍ය සහතිකයක් ලබා තිබෙනවා.

කාන්තාවන් බල ගැන්වීම කියන්නේ පුණ්‍ය කර්මයක්වත් අනුකම්පාව පදනම් කරගත් කාර්යයක්වත් නොවේ. එය රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා අතිශයින් වැදගත් වන මහා ආර්ථික අවශ්‍යතාවයක් බව කිව යුතුයි.කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නැංවීම තුළින් ලංකාවේ ආර්ථික ස්වාධීනත්වය සියලුම දෙනාට හිමිවෙනවා.ජනගහන ප්‍රමාණයෙන් මෙන්ම අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින්නේ කාන්තාවන්.හැබැයි ශ්‍රම බලකාය සඳහා ඔවුන්ගේ දායකත්වය පවතින්නේ  සියයට 32- 35 මට්ටමකයි යනුවෙන්ද අමාත්‍යවරිය සඳහන් කළාය.