(නිමන්ති රණසිංහ )

දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 350 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350 කට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක භාරයේ රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් දාහත් දෙනෙකු අතරින්  බෝට්ටු හිමිකරුවෙකු ඇතුළු පස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද  (31)  නියෝග කළේය.

අනෙක් සැකකරුවන් දොළොස් දෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකා දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී පසුගිය දින බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 350ක ප්‍රමාණයක් සොයාගෙන තිබිණි.