(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බේරුවල මුහුදු තීරයේදී ටෝලර් යාත්‍රාව සමඟ පොලිසිය භාරයට ගත් රුපියල් කෝටි 288 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයේදී භාරගැනීමට සිටි පුද්ගලයා කවුදැයි හඳුනා ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මේ වන විටත් පිටත් කර හැර ඇතැයි එම නිලධාරියා කීය

මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයට යාත්‍රාවකින් රැගෙන එන බවට රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව දින හතරක කාලයක සිට මාතර සිට බේරුවල දක්වා පොලිස් නිලධාරීන් සහ ආවේශන බුද්ධි නිලධාරීන්ගේ 80 කින් සමන්විත පිරිසක් වෙරළ තීර මායිමේ වෙස් වලාගෙන රැකවල්ලා සිටි බව එම නිලධාරියා කීය

පැකට් 259 ක අඩංගු හොරෙයින් මත්කුඩු කිලෝ 288 ග්‍රෑම් 633 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා යෙදවූ බව එම නිලධාරියා කීය

ටෝලර් යාත්‍රාවේ දැල් දමන ස්ථානයේ රහසිගත කුටියක සඟවා ගෙන පැමිණ තිබූ මෙම මත්කුඩු තොගයෙන් කිලෝ 56 කට ආසන්න ප්‍රමාණයක් මුහුදට දැමූ බවත් මේ සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත