(අංජුල මහික වීරරත්න)

ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා තවදුරටත් ඉඩ ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේ ද අලෙවි කිරීම සදහා අවසර දෙන ලෙස බිත්තර අලෙවි කරුවන් ව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට අවසර නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණ කිහිපයක් ගත් බව අමාත්‍යාංශය පවසයි.

මෙහිදී කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත කරුවන් ඉල්ලා ඇත්තේ මෙරට බිත්තර හිඟය තුරන් කිරීමට නම් දැනට රජය විසින් පනවා තිබෙන බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙසයි. සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟය තුරන් කිරීම මෙන්ම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් එම කර්මාන්තකරුවෝ ඉල්ලීමක් කළහ.

බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15ක් ඇතුලත රට පුරා බිත්තර සුලබ කරන බව බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රකාශ කළැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බවත්, සහල් සත්ව ආහාර සදහා යොදා ගැනීමට දැනට පනවා ඇති තහනම ඉවත් කිරීමටත් පියවර ගන්නා බවත්ය.

එමෙන්ම බිත්තර ආනයනය කිරීම නොනවත්වන බව සදහන් කළ අමාත්‍යවරයා බිත්තර හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙළෙඳපොලට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක් බිත්තර ආනයනය කිරීම සිදු කරන බව සඳහන් කළේය.