(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 50 ක් පමණක් නිකුත් කරන බවත් එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය දුන් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය.

එක්දින සේවය දිනකට රියදුරු බලපත්‍ර 50 කට සීමා කළ ද හදිසියේ විදේශගත වීම ආදි කරුණු පිළිබඳව අවධානය යොමු කරන බව කී නිශාන්ත වීරසිංහ මහතා සෙසු අයදුම්කරුවන්ට සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත්‍ර අයදුම් කළ හැකි බව ද සඳහන් කළේය.

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 1800 ක් පමණ මේ වන විට දිනකට මුද්‍රණය කරන බව කී නිශානත් මහතා පැවසුවේ මුද්‍රණ යන්ත්‍රවල සහ සේවක ධාරිතාව අනුව දිනකට මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 2000 ක් පමණ වන බවයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් හිඟයකින් තොරව තිබූ කාලයේ එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළේය.