(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ගංවතුරෙන් (2011 සහ 2012 වර්ෂවලදී)  හානියට පත් මාර්ග 53ක්  ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උතුරුමැද පළාත් සභාවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව)   උතුරුමැද පළාත් සභාවේ නිලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය

2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක්  ප්‍රතිසංස්කරණය කිරීමේදී උතුරුමැද පළාත් සභාව  අක්‍රමිකතා සිදුකළ බවට විගණකාධිපති වාර්තා මගින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම්  සම්බන්ධයෙන් 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදීකරුණු අනාවරණය විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (03) පාර්ලිමේන්තු මන්ත්‍රී  කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දීම සිදුවිය.

2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා උතුරුමැද පළාත් සභාව මෙම රැස්වීමට කැඳවා තිබිණි.

මෙහිදී නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ, එම වංචාවට සම්බන්ධ නිලධාරීන් දස දෙනාගෙන් අයකර ගැනීමට නියමිතව තිබූ මුදල් තවමත් අයකර ගෙන නොමැති බවත්, ඔවුන්ගෙන් සමහරක් දැනට ජීවතුන් අතර නොමැති බවත්, අනෙක් අයගෙන් මුදල් අයකර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්ය.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය කමිටුව මෙහිදී අවධාරණය කළේය.

මීට අමතරව, පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිම නොකර අතහැර දමා තිබීම පිළිබඳව ද කරුණු විමසන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කරන ලද මුදල් අයකර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙහිදී අවධානයට ලක් විය. මෙම ව්‍යාපෘතිය සිදු කළ කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කිරීමේ අවශ්‍යතාවය කමිටු සාමාජිකයින් පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් පවත්වා මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.