(රෝෂන් තුෂාර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ සාමාජිකයකු යැයි කියන "ශිරාන් බාසික්" සැකකරුගේ දුරකථන දත්ත වාර්තා හා බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (18) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළේය .

සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සහ අයතා මුදල් ඉපයීමක් සිදුකර ඇද්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා දුරකථන විස්තර වාර්තා සහ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙරට දුරකථන සමාගම් තුනකට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාට මෙම නියෝග නිකුත් කළේය.

පසුගිය 14 වැනි දින කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සැකකරු දින අනූවක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේ ය.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා රඳවා ප්‍රශ්න කරනුයේ නාරාහේන්පිට පොලිස් ඛල ප්‍රදේශයේ නම් සැකකරු අංක තුන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය. සැකකාරයන් තුන් හතර දෙනෙකු විතර මාසෙකට අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. නමුත් පොලිසිය ඔවුන් යොමු කරන්න ඕන උසාවියේ දන්නේ නෑ. මේ උසාවිය බලන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන කරුණු පමණ යි.