නවම් පොහෝදය අදට යෙදී ඇත. ඒ නිමිත්තෙන් රටපුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩ සටහන් සංවිධානය කර ඇත. කොළඹ හුණුපිටිය  ගංගාරම විහාරස්ථානය පෙරටු කර ගනිමින් නවම් පෙරහර මූලික කර ගනිමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවු බව ඓතිහාසික නවම් පුනු පොහෝ දිනය සැලකිය හැකි ය.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලබන ලද්දේ නවම් පුනු පොහෝ දිනයකය.

සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම්  පොහෝ දිනයක ය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයක ය.

මෙසේ සලකා බලන කල්හි නවම් පුනු පොහෝ දිනය බොදු බැතිමතුන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයෙකි.

නවම් පුනු පොහෝදා සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු දී පසුව මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දේශනා කොට වදාළේ නවම් පුනු පොහෝ දිනයක ය. 

සැරියුත් - මුගලන් අගසවු හිමිවරුන් ගේ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය වෙත වැඩිය හ. එහි දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, “ආනන්දය, සතර ඉර්ධිපාද වැඩුවහුට කැමති නම් කල්පයක් (ආයුස්කල්පයක්) වුව ද ජීවත් විය හැකිය” යි වදාළ හ. බුදුරජාණන් වහන්සේ තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ නමුත් ආනන්‍ද හිමියන්ට මාරාවේශ වී සිටි හෙයින් සිහි එළවා ගත නො හී බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නට ආරාධනා කළ නො හැකි විය.

ආනන්ද හිමියන් ගේ පමාවක් බලා සිටි මාරයා අවුත් බුදුරදුන්ට පිරිනිවන් පාන සේ ආරාධනා කෙළේ ය. තථාගතයන් වහන්සේ තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට වදාළ සේක. භාග්‍යවතුන් වස්සේ, “ඉදිරි තුන් මාසය පමණක් සමාපත්තියට සමවැද ඊට පසු නො සමවදින්නෙමි”,යි අධිෂ්ඨාන කොට ආයුසංස්කාරය හැරියහ. ආයුසංස්කාරය හැරීම යනුයෙන් අදහස් කරනුයේ මෙතෙක් කාලයකින් පිරිනිවන් පාන්නෙමි යි කාලය සීමාකර ගැනීම යි.

තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හළ කෙණෙහි ම මහාභූමි චලනයෙක් වීය. පසුව ආනන්ද හිමියන් බුදුුරජාණන් වහන්සේට කපක් වැඩ සිටින්නට (ආයු කල්පයක්) ආරාධනා කළ නමුත් ආයුසංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පාන බව වදාළ හ.