(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු තුනක් මාස ගණනාවක් තිස්සේ නොපිරවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දේශපාලන හා නීති ක්ෂේත්‍රයෙන් දැඩි චෝදනා එල්ල වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ පැහැර හැර ඇති බවට නිදහස් නීතිඥ සංගමය ප්‍රසිද්ධියේ චෝදනා කරයි.

සමහර විනිසුරු පුරප්පාඩු මාස හයකට වැඩි කාලයක් තිස්සේ පුරවා නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන වලට පැමිණිලි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.

"ඊළඟ නඩුවල තීන්දු එක්කද මේ අය පත් කරන්න හදන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අද සෂී වීරවංශ ඇතුලට දානවා. මහාධිකරණයෙන් ඒ අයට වුවමනා අය හිරේට දැම්මට පස්සෙද උසස්වීම් දෙන්නේ. ඒක තමයි මෙතන තියෙන සැකය. විනිසුරුවරුන් පත් කරපු නැති එකෙන් නඩු කටයුතු ප්‍රමාද වෙන්නේ නැද්ද. ඒ අය ගෙනාවම නේද නඩු කටයුතු ඉක්මන් වෙන්නේ. මේ සම්බන්ධව බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා." යැයි ජයසේකර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ එම විනිසුරු පුරප්පාඩු අනිවාර්යයෙන්ම පුරවන බවයි.

තමාට මේ අවස්ථාවේදී කිව නොහැක්කේ ඒවා පුරවන කාලය සහ පුරවන ක්‍රමවේදය පමණක් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉහළ උසාවි වල විනිසුරු පුරප්පාඩු නොපිරවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද පසුගිය දිනවල දැඩි උණුසුම් කතාබහක් ඇතිවිය.