(විමුක්ති එස්. රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ගිය නෞකා දෙකක් බෝම්බවලට හසුවී පුපුරා ගිය බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද (20) ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව නවවැනි දිනටත් ඉරානයට ප්‍රහාර එල්ල කළ බව එම බළකාය කීය.

එක් නෞකාවක් ඕමානයේ කුම්සාර් ගම්මානයට කිලෝ මීටර් 15ක් වයඹ දෙසින් යාත්‍රා කර තිබිය දී ඉරාන හමුදාවේ ප්‍රහාරයට ලක්ව ඇත.

ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ඇතිවූ ගින්න නිවීමට නොහැකිවී ඇති අතර වහාම ක්‍රියාත්මක වී ඕමාන බලධාරීන් නැවේ කාර්ය මණ්ඩලය මුදාගෙන ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව කිසිම සාකච්ඡාවක් කළ නොහැකි බව ද ඉරානය පැවැසුවේය.

එසේම කර්ග් දූපත ආක්‍රමණය කිරීමට පැමිණෙන ඇමෙරිකානු හමුදා භටයන් පිළිගැනීමට පිරිසක් බලා සිටින බව ද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඇමෙරිකානු හමුදාව කර්ග් දූපත ආක්‍රමණය කිරීමට උත්සාහ දරුවොත් ඔවුන්ට එහි ප්‍රතිවිපාක අත් විඳීමට ද සිදුවනු ඇතැයි එම අමාත්‍යාංශය පැවැසුවේය.