(විමුත්කි එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇණවුම් රැගෙන යන නෞකා බොහොමයක් ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් ඉරාන යුද්ධය හේතුවෙන් ඇණවුමක් බාර දීමට ගතවන කාලය දින 3ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු අද (24) අප පුවතපතට ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල යාම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට අදාල ගාස්තුවට අමතරව තවත් මුදලක් ගෙවීමට ඇඟලුම් කර්මාන්තකරුවන්ට සිදුව තිබෙන බවත් විශාල ගැටලුව මතුව ඇත්තේ ගුවනින් යවන භාණ්ඩවලට බවත් ඔහු පැවැසුවේය. ගුවනින් යවන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණත් සැපයුම අඩු බවද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් ගමන් සීමා වීම හේතුවෙන් බොහෝ ඇණවුම් යවා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද පැමිණෙන්නේ ගුවන් මාර්ගයෙන් බැවින් ඒවාද ප්‍රමාද වී තිබෙන බවත් ඔහු පැවැසුවේය. වෙනම ගුවන් යානා කුලියට ගෙන ඇණවුම් ප්‍රවාහනය කළත් එහි පිරිවැය අධික බවද ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රවාහන ගාස්තු ගෙවන්නේ මිලදී ගන්නා බැවින් ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී මෙරට කර්මාන්තකරුවන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් බොහෝ අයට එම ධාරිතාව නොමැති බවත් ඔහු පැවැසුවේය. සියයට 40ත්, 50ත් අතර ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාව ආනයනය කරන බවත් එම ඇණවුම්වලද ප්‍රමාදයක් තිබෙන බවද ඔහු පැවැසුවේය.

දැනට ඇණවුම් තිබුණත් මැද පෙරදිග යුදමය තත්වය අඛණ්ඩව පැවතුණහොත් මෙරට ඇඟලුම් ඇණවුම් අඩුවීමේ අවදානමක් තිබෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු ඊයේ(24) අප පුවතපතට ප්‍රකාශ කළේය.

අවිනිශ්චිතතාවක් ඇතිවූ විට පාරිභෝගික ඉල්ලුම අඩුවීම සාමාන්‍ය කරුණක් බවත් ඉරානය යුද්ධය ලෝකයටම බලපෑම් එල්ල කිරීමට පටන්ගෙන ඇති බවත් ඔහු පැවැසුවේය. ඇඟලුම් නිෂ්පාදන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නොසළකන බවත් අවිනිශ්චිතතාවයක් මතුවූ විට අතේ තිබෙන මුදල අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයකට වියදම් කිරීමට ගැනුම්කරුවන් මැලි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන ගැණුම්කරුවන් වන ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපයට ඇණවුම් බොහොමයක් ප්‍රවාහනය කරනු ලබන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය භාණ්ඩ ප්‍රවාහනයට එල්ල වී බාධා ඇඟලුම් කර්මාන්තයට බලපා ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු ඊයේ(24) අප පුවතපතට ප්‍රකාශ කළේය.

ඇඟලුම් කර්මාන්තකරුවන් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ගුවන් මාර්ගද වැටී ඇත්තේ ඩුබායි හරහා බවත් ඩුබායි හරහා සිදු කෙරෙන ගුවන් සීමාවිම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තකරුවන්ට බොහෝ අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇති බවත් ඔහු පැවැසුවේය. නමුත් එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන කරුණක් නොවන බවත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි මෙරට තරඟකරුවන්ටද එය බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරට ඇඟලුම් කර්මාන්තය රඳා පවතින්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මත බවත් වසර ගණනක සිට වෙනත් වෙළෙඳපොළවල් සොයා ගැනීමට උත්සාහ කළත් එය තනිව කළ නොහැකි තත්වයක් බවත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඊට හේතුව ඒ ඒ රටවලට වෙනස් වූ තීරු බදු ප්‍රතිපත්ති තිබීම  බවද ඔහු පැවැසුවේය.

නව වෙළෙඳපොළවල් සොයා ගැනීමට නම් ශ්‍රී ලංකාව වැඩි වශයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට අවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළේය. ඉන්ධන සීමා කිරීමත් සමග ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ඒකාබද්ධ ඇඟලුම් සංසදය උත්සාහ කළ බවද ඔහු පැවැසුවේය. ආහාර සහ සෞඛ්‍යයට පසුව අපනයන, සංචාරක කර්මාන්ත සඳහා ප්‍රමුඛතාව ලබාදීමට ජනාධිපති තීරණය කර තිබෙන බවද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන ගැටලුවත් සමග ඇඟලුම් පිරිවැය දෙගුණ වී තිබෙන බවත් නමුත් පිරිවැයට වඩා ඇඟලුම් කර්මාන්තකරුවන් සැලකිළිමත් වන්නේ ගැනුම්කරුවන් අඛණ්ඩව සැපයුම් ලබාදීම බවත් ඔහු පැවැසුවේය. එසේම විදුලි බලය කප්පාදු නොකර සිටීමට උපරිම උත්සාහ දරන බව රජය පොරොන්දුවක් ලබාදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.