(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං 08 වැනි දා දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණෙන බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධ අවබෝධතා ගිවිසුම් 3 කට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් තබනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රාජ්නාත් සිං මහතාගේ මෙරට දෙදින නිල සංචාරයේදී ආරක්ෂක සහයෝගීතාව ඇතුළු දෙරට අතර පවතින ද්වී පාර්ශ්වික සබඳතා පිළිබඳව පුළුල් සමාලෝචනයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිදු කරනු ඇතැයිද ආරංචි මාර්ග පැවැසුවේය. දෙරට අවධානය යොමු කෙරන කරුණු අතර සමුද්‍රීය ආරක්ෂාවට සහ ඉන්දීය සාගරයට ප්‍රමුඛතාව හිමිවනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

දෙදින නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සමග ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සාකච්ඡා පවත්වනු ඇති බවද පැවැසෙයි. රාජ්‍ය තාන්ත්‍රිකව ඉන්දියාවේ ආරක්ෂක සහ සුරක්ෂිතතා සහකාරිත්වයන් පුළුල් කිරීම අරමුණු කරගත්, වසර 10 කින් යුතු "රක්ෂා" ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික මාර්ග සිතියම පසුගිය 3 වැනිදා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එළි දැක්වීමෙන් පසුව සිදුකරන පළමු විදෙස් සංචාරයද මෙය වේ.

ඒ හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ආරක්ෂක සහයෝගීතාව පුළුල් කර ගැනීම මෙම සංචාරයේ එක් අරමුණක් විය හැකි බවද පැවැසෙයි.