(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානය අභිබවා යමින් ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව හැකියාව ලැබී තිබෙන බව ඉන්දීය රජය පසුගියදා නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචන වාර්තාවේ දැක්වේ. 

මීට පෙර ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය හිමිකම් කීවේ ජපාන යයි. ඉදිරි වසරවලදී ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනිය පසුකර යාමටද ඉන්දියාවට හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් මෙම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තහවුරු කළ යුතු අතර එය ලබන වසරේ මුල් භාගයේදී සිදුවනු ඇත.

ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18 දළ දේශීය නිෂ්පදිතයකට හිමිකම් කියමින් ජපානය පසුකර ගිය බවත් 2030 වසර වනවිට දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ඉහළ දමා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය රජය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව වසර 2.5ත් 3ත් අතර කාලයකදී 2030 වසර වනවිට ඉන්දියාවට ජර්මනිය පසුකර යාමට හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

2028 වසර වනවිට ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.46 ක දළ දේශීය නිෂ්පදිතයකට හිමිකම් කීමට හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.