(ඩයනා උදයංගනී සහ විමුක්ති එස් රොද්‍රිගු)

ඉන්දියානු සාගරයේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමි කම්පාව ඉන්දුනීසියාවේ බටහිර බෙන්ග්ලුකූලු නගරයට කිලෝ මීටර 200 නිරිත දිගින් පමණ ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රබල භූමි කම්පාවක් වුවත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර සිදුවූ හානිය පිළිබඳවද මෙතෙක් වාර්තා වී නොමැත.  

ඒ අනුව මෙරට වෙරළාසන්න කලාපයේ ජන ජීවිත සුරක්ෂිත බව එම ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මෙම භූ කම්පනය අද රාත්‍රී 7.07ට පමණ සිදුව ඇති බවද පැවසේ.