(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සියලුම පාර්ශ්වයන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය යටතේ එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟයට සහභාගී වීම සඳහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලබාදුන් බව පාකිස්තාන රජය නිල වශයෙන් ඊයේ (09) ප්‍රකාශ කළේය.

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරඟයට සහභාගී නොවූවේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 174 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5368 ක් පමණ) සමස්ත පාඩුවක් සිදුවීමට නියමිතව තිබිණි.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිල වශයෙන් කළ ඉල්ලීමත්, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයන් කළ ඉල්ලීමුත් සළකා බැලීමෙන් අනතුරුව පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් මහතා අදාළ අවසරය ලබාදුන් බව පාකිස්තාන රජය පැවැසුවේය.

ජනධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා අතර පෙරේදා(09) පස්වරුවේ මිත්‍රශීලි දුරකතන සංවාදයක් පැවැති බවත් එහිදී අභියෝගාත්මක කාලවලදී සැමවිටම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමීප හවුල්කරුවන් ලෙස සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මතක් කර දුන් බවත් පාකිස්තාන රජය ප්‍රකාශ කළේය.

මෙවැනි සංවාදවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සහ පකිස්තානය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත තරඟයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සහභාගී වීමට අවසර ලබාදුන් බව පකිස්තාන රජය පැවැසුවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(10) ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත තරඟයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන බවට පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තහවුරු කර තිබෙන බවයි.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව සහ පාකිස්තානය  අතර එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත තරඟයට පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සහභාගීවීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලිකව සුහදශීලි ඉල්ලීමක් කළ බවයි.

එහිදී අභියෝගාත්මක කාලවලදී ශ්‍රී ලංකාව ලබාදුන් කොන්දේසි විරහිත සහාය පිළිබඳව ස්තුතිය පිරිනැමූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම තමන් සාදරයෙන් පිළිගත් බවත් ෂරීෆ් මහතා තැබූ සටහනේ දැක්වේ. ත්‍රස්තවාදී තර්ජන එල්ල වූ අවස්ථාවේදී පකිස්තාන ක්‍රිකට් සංචාරය අවලංගු නොකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාදුන් සහායද තමන් අමතක වී නොමැති බවද ෂෙබාස් ෂරීෆ් මහතා සිය මුහුණු පොතේ තැබූ සටහනේ සඳහනේ වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විස්සයි විස්ස ලෝක කුසලානයට බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ගත් තීරණය විරෝධයපෑමක් ලෙස එළැඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායාම සහභාගී නොකිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබිණි.

පකිස්තාන රජය සිය තීරණය දැනුම් දීමත් සමග ශ්‍රී ලංකා ජනාධිපතිවරයාද පකිස්තාන අගමැතිවරයාට ස්තුති කරමින් එක්ස් පණිවුඩයක් තබා තිබිණි.