(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමා ඉවත් කිරීමට ගත් තීරණය තහනම් කරන්නයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද ප්‍රතික්‍ෂෙප කළාය.

වගඋත්තරකරුවන් කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යැයි කියමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා කළ දැනුම් දීමක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරිය එලෙස නියම කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමා ඉවත් කිරීමේ තීරණය තහනමට ලක් කරන්නයි ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සිව් දෙනෙකු නම් කොට ඇත.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම පැමිණිල්ල ගොනු කරමින් තම සේවාදායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය ඇතුළු සෙසු ධූරයන් දරන බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කොට තිබිණී.