IMG-LOGO

ඇඳිරිය අස්සේ රටපුරා උද්ඝෝෂණ

රට පුරා ඇඳිරිනීතිය පනවා තිබියදීත් එය නොතකමින් බොහෝ පිරිස් විවිධ ප්‍රදේශවලදී ඊයේ (3) විරෝධතාවයන්හි නිරත වූහ.

රටේ උද්ගතව ඇති ගැන ඉන්ධන, ගෑස් හා භාණ්ඩ මිල ඉහළයාම හා හිඟය, විදුලි කප්පාදුව ඇතුළු අර්බුද වහා විසදන ලෙස ඉල්ලමින් විවිධ දේශපාලන පක්‍ෂ මෙන්ම සාමාන්‍ය ජනතාව ද විවිධ ස්ථානවල විරෝධතා පවත්වන අයුරු දැකගත හැකිවිය.

පවතින අර්බුද විසඳන ලෙස හා එසේ කිරීමට නොහැකිනම් ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.

ආණ්ඩුවට විරෝධයපෑම සඳහා තමන්ට ආසන්නම නගරයේදී විරෝධතාවන් එක්වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කරමින් තිබූ අතර, එයට සහය පළ කරමින් ජනප්‍රිය කලාකරුවන්, ක්‍රීඩකයන්, විද්වතුන් ඇතුළු පිරිස් ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ හා සටහන් පළ කර තිබිණි.

ඒ අනුව අප්‍රේල් 3 වැනිදා එනම් ඊයේ දිනයේදී රට පුරා විරෝධතා සංවිධානය වෙමින් තිබුණත් පෙරේදා (2) පස්වරු 6.00 සිට අද (4) උදෑසන 6.00 දක්වා රට පුරා ඇඳිරිනීතිය පැනවීමට රජය පියවර ගෙන තිබිණි. මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, එම කාලය තුළ පොදු ස්ථාන තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී පොදු මාර්ගයක, උද්‍යාන, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.

එමෙන්ම ජනතාවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය විය නොහැකි පරිදි ෆෙස් බූක්, යූ ටියුබ්, වට්ස්ඇප්, මැසෙන්ජර්, වයිබර්, ට්විටර් ආදී සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට ද පෙරේදා රාත්‍රියේ සිට බාධා එල්ල කර තිබිණි.

ඇඳිරිනීතිය හේතුවෙන් රට පුරා මාර්ගවල පොලිස් හා හමුදා ආරක්‍ෂාව යොදා තිබූ අතර, නගර කරා පැමිණෙන රථවාහන පරීක්‍ෂා කිරීමේ විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මක විය. ඇතැම් මාර්ග පොලිස් මාර්ග බාධක, ඇලුමිණියම් බට ආදිය යොදා වසා දමා තිබෙනු ද දක්නට ලැබිණි.

එසේ තිබියදීත් රට තුළ පවතින ගැටලුකාරී තත්වය සහ ඇඳිරිනීතිය පැනවීමට ද විරෝධය පා රට පුරා ජනතාව පෙරේදා (2) පස්වරුවේ සිටම විවිධ ස්ථානවල විරෝධතා පවත්වනු දක්නට ලැබිණි.

රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇති සිටියදීත්, පාලකයින් සුර සැප විඳිමින් සිටින බවත්, ජනාධිපතිවරයා ඇතුළු රජය ඉල්ලා අස්විය යුතු බවත් පවසමින් මෙම විරෝධතාවන්ට සහභාගී වූ පිරිස් විරෝධතාවයේ යෙදුණහ.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීන් කොළඹ නිදහස් මාවතේ දී විරෝධතාවයක නිරත වූ අතර, නිදහස් චතුරස්‍රයට පිවිසීම බාධා කරමින් යොදා තිබූ මාර්ගබාධක අසලදී ඔවුන් හා පොලීසිය අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.

ගෑස්, ඉන්ධන, විදුලි අර්බුදයට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට ඔවුන් කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් වුවත් පොලිසිය විසින් නිදහස් මාවතේ වටරවුම ආසන්නයේ මාර්ග බාධක යොදා එය අවහිර කරනු ලැබීය.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු නිදහස් මාවතට පැමිණ සිටියදී පොලිසිය ඔවුන්ගේ ගමනට බාධා එලල් කිරීම හේතුවෙන් පොලිස් මාර්ග බාධක අසල සිටම විරෝධතාව පළ කළහ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විරෝධතාවයට සමගි ජන බලවේගයේ පක්ෂ නායකයන්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

විපක්ෂ නායක කාර්යාලය අසලින් පෙරුවරු 11.00 ට පමණ ආරම්භ කළ පා ගමන නිදහස් චතුරස්‍රය බලා පිටත් වූ අතර, මන්ත්‍රිවරු ඇතුළු පිරිස විවිධ සටහන් පාඨ සහ විරෝධාතා පුවරු අතැතිව එහි ගමන් කළහ. පිරිසට නිදහස් චතුරස්‍රය දෙසට යාමට නොහැකි වන සේ නිදහස් මාවත වටරවුමේ මාර්ග බාධක යොදා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කර තිබූ අතර ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය, සහ යුද්ධ හමුදාව ද එම ස්ථානයට කැඳවා තිබිණි.

මාර්ග බාධකවලින් මෙපිට මන්ත්‍රිවරුන් රැඳී සිටි අතර, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මාර්ග බාධකයෙන් එපිට ආරක්ෂක වළල්ලක් ලෙස රැදී සිටියේය.

මහජන නියෝජිතයන් වශයෙන් තමන්ට ඇති අයිතියට ගරුකර නිදහස් චතුරශ්‍රයට ගොස් සාමකාමීව විරෝධතාව පැවැත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිය ද, පොලිසිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

පොලිසිය ඔවුන්ගේ ගමනට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රිවරුන් එම පොලිස් මාර්ග බාධකයේ නැග ඒ මත සිට විරෝධාතාවේ නිරත වූහ.

විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පොලිස් මාර්ග බාධකයට නැග පැය එකහමාරකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

‘ගෝ ගෝඨා ගෝ’, ‘මව්බිම රකිනු බැරිනම් ඉවත් වනු’, ‘සාටක පවුලට එන්න කියාපිය තොලොන්චි වෙනවද නැද්ද කියාපිය’, ‘වැඩ බැරිනම් ගෙදර යන්න’ ආදි විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවේ නිරත වුහ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩි මාෂල් සරත් ෆොන්සේකා, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාද් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, සුජිත් සංජය පෙරේරා, වඩිවෙල් සුරේෂ්, තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ සහ ‘වෙනසක තාරුණ්‍යය’ සංවිධානය වෙන වෙනම සංවිධානය කළ උද්ඝෝෂණ දෙකක් මහරගම නගරයේදී ඊයේ (3) පැවැත්විණි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ එම උද්ඝෝෂනයට පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ යන මහත්වරුන් ඇතුළු ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඔවුහු මහරගම නගර සභාව ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ එක් මංතීර්වක සිට විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණහ.

ඒ අවට සිටි පොලිස් නිලධාරීන් එම විරෝධතාවයට කිසිදු බාධාවක් නොකිරීම විශේෂත්වයකි .

පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතව සිටි විරෝධතාකරුවන් පසුව මහරගම නගර මධ්‍යයේ සිට පෙළපාලියකින් ජනතා විමුක්ති පෙරමුණේ මහරගම කාර්යාලය වෙත ගොස් විරෝධතාවය අවසන් කළ අතර, මෙයට සහභාගී වූ තරුණ පිරිස් උද්ඝෝෂණය අවසානයේ ගීත ගයනා කරමින් සිටිනු ද දක්නට ලැබිණි. මෙහිදී වෙනසක තාරුණ්‍යය සංවිධානයේ විරෝධතාවය පැවති මහරගම පමුණුව ප්‍රදේශයේදී පැවති අතර, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇඳිරි නීතිය පනවා තිබියදී විරෝධතා පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බව පැවසීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

වෙනසක තාරුණ්‍යය ජාතික සංවිධායක ළහිරු වීරසේකර මහතා පැවසුවේ එක්වරම ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රටේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ලබා ගැනීමට නොහැකිව බඩගින්නේ සිටින්නට සිදුව ඇති බවයි.

ප්‍රධාන මාර්ගයෙන් ඉවත් වී උද්ඝෝෂණය පවත්වන ලෙස මෙහිදී පොලීසිය පැවසීම හේතුවෙන් විරෝධතාකරුවන් විරෝධතා පුවරු රැගෙන පමුණුව අතුරු මාර්ගයක රැඳී සිටිමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදිණි.

අනතුරුව ඔවුහු නැවත වරක් මහරගම, පමුණුව හරහා හයිලෙවල් මාර්ගයට පෙළපාලියකින් පැමිණ මහරගම බෝ ගස අසල හයිලෙවල් මාර්ගයේ එක් මංතීරුවක් හරස්කොට උද්ඝෝෂණයක නිරත වූහ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විශාල පිරිසක් ද ඇඳිරිනීතිය නොතකා ඊයේ (3) දහවල් විරෝධතා පුවරු රැගෙන ගලහ හන්දිය සිට මහනුවර දෙසට පැමිණීමට උත්සාහ කිරීමේදී පොලීසිය, විශේෂ කාර්ය බලකා හා යුද හමුදා භට පිරිස් එම ගමන වැළැක්වීමට දැඩි උත්සාහයක් දැරූ අතර, විරෝධතාකරුවන් අඛණ්ඩව ඉදිරියටයාමට උත්සාහ කිරීමේදී ආරක්‍ෂක අංශ ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළහ.

එම අවස්ථාවේදී ද විරෝධතාකරුවන් ඉදිරියට යාමට දැඩි උත්සාහයක් ගත් නමුත් ආරක්‍ෂන අංශ විසින් යකඩ මාර්ග බාධක යොදා එම ගමන වළක්වනු ලැබීය.

‘ආර්ථිකය විනාශයි, රට අරාජිකයි, ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙළගැසෙමු, පාලකයෝ ගෙදර යනු’ ආදී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පෙළපාලියට එක්ව සිටි අතර, එයට සහය පළකරමින් පේරාදෙණිය ශික්‍ෂණ රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාකරුවන්ට ජල බෝතල් ද ලබාදෙනු දක්නට ලැබිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු ද එම විශ්ව විද්‍යාල අසල විරෝධතාවයන්හි යෙදුණහ.

මාළඹේ, කඩුවෙල හා රාජගිරිය ප්‍රදේශයන්හි දී ද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ පැවැත්විණි. කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද අධික ජීවන වියදම, විදුලි කප්පාදුව සහ රටේ සම්පත් විකිණීම සම්බන්ධයෙන් විරෝධය පා එම රෝහල ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු අතර, පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියත් විරෝධතාකරුවන්ට බාධාවක් එල්ල නොවිණි.

නීතීඥවරයකු වන චාමර ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඒකල මංසන්ධියේ ද විරෝධතාවක නිරත වූ අතර පසුව පොලීසිය පැමිණ එය විසුරුවනු ලැබිණි.

තරුණ තරුණියන් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නුගදූවේ වර්ණ සංඥා පද්ධතිය අසල සිට ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බෝගහගොඩ දක්වා යතුරුපැදිවලින් ගමන් කරමින් විරෝධතාවයේ යෙදුණහ. ඔවුන් සටන්පාඨ සහිත පුවරුද රැගෙන යතුරුපැදිවල නලා හඬවමින් ගමන් කරද්දී පොලීසිය පැමිණ එය නවත්වා විසිර යන ලෙස දැනුම් දුන් අතර එම අවස්ථාවේ එහි උණුසුම් තත්වයක් ද ඇතිවිය. එසේ වුවත් පසුව විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් සාමකාමීව පිටව ගියහ.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් කුමාර මහතා ද එම අවස්ථාවට එක්ව සිටි අතර එම ප්‍රදේශයේ කළු කොඩි ඔසවා ආණ්ඩුව විරෝධතාවය පළ කර ඇති අයුරුද දක්නට ලැබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තනතුරෙන් ඉවත්වන්නැයි සඳහන් සටන්පාඨ කියමින් කරන්දෙණිය, හතර කණුව ප්‍රදේශවාසීන් පිරිසක් ද උද්ඝෝෂණයක යෙදුණු අතර, එම ස්ථානය අසලින් පොලිස් ජීප් රථයක් එහා මෙහා යන ආකාරය මෙන්ම ප්‍රදේශවාසීන් විරෝධතාකරුවන්ට තේ පැන් සංග්‍රහයක් ලබාදුන් ආකාරයත් දක්නට ලැබිණි.

ඇඳිරිනීතිය නොතකා කරන්දෙණියේ පැවති උද්ඝෝෂණයකට මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත ජාතිකයකු ද එක්ව සිටියේය.

තම පෙම්වතිය සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම සංචාරකය මෙම විරෝධතාවය දැක සිය කැමැත්තෙන්ම එයට එක්වූ අතර, ඔහු පැවසුවේ ඉන්ධන, විදුලිය හා සමාජ ජාලා නොමැතිවීම හේතුවෙන් සංචාරකයින් වන තමන්ද දුක් විඳින බවත්, ජනතාවගේ උද්ඝෝෂණ අයිතිය තහනම් කරමින් ඇඳිරිනීතිය පැනවීම මානව හිමිකම් කඩකිරීමක් බවත්ය.

ගම්පහ, මාකේවිට ප්‍රදේශවාසීන් පිරිසක් ද මාකේවිට මංසන්ධිය අසලදී විරෝධතාවයේ නිරත වූහ. පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් ද කුරුප්පුමුල්ල ශ්‍රී සුභද්‍රාරාමය ඉදිරිපිට සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, ප්‍රදේශවාසීන් බිස්කට්, කෙසෙල් හා සිසිල්බීම ආදියෙන් ඔවුන්ට සංග්‍රය කරනු දක්නට ලැබිණි.

එම ස්ථානයට ජීප් රථ දෙකකින් සහ යතුරු පැදි දෙකකින් පොලිස් නිලධාරීන් පැමිණියත් විරෝධතාකරුවෝ අඛණ්ඩව විරෝධතාවයේ යෙදුණහ.

සමාජ ක්‍රියාකාරීන් විසින් වාද්දුව, තල්පිටිය, මොල්ලිගොඩ හා වස්කඩුව ප්‍රදේශයන්හිදීත් ආණ්ඩුවට විරෝධය පා උද්ඝෝෂණ පැවැත්වූහ.

මැදිරිගිරිය නගර මධ්‍යයේ සහ රත්නපුර ඩිපෝ මංසන්ධියේදී ද විරෝධතා සංවිධානය කර තිබිණි. ප්‍රවීණ ගුරුවරයකු මෙන්ම ලේඛකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ද තවත් අයකු සමඟ පැමිණ නුගේගොඩ විජේරාම මංසන්ධියට පැමිණ රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් එහි රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ට දේශනයක් පවත්වනු දක්නට ලැබිණි.

ඇතැම් පිරිස් ඇඳිරිනීතිය පවතිද්දී විරෝධතාවන්ට සහභාගී විය නොහැකි වුවත් තම නිවෙස්වල සිටම සටන් පාඨ සහිත පුවරුවක් අතැතිව ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයන්ට එක්කර තම විරෝධය පළ කර තිබිණි.

(ඩයනා උදයංගනී, ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවක්කු, මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, ජේ.ඒ.එල් ජයසිංහ, තෙල්දෙණිය චන්දන උඩුවාවල, චන්දන උඩුවාවල සහ මහනුවර ෂේන් සෙනෙවිරත්න, ජා ඇල ප්‍රසංග පෙරේරා, කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත, මාකේවිට අර්නස්ට් ජයතිලක, පානදුර සුමිත් පොතුපිටිය, වාද්දුව දයා හේමන්ත සිල්වා, කුරුණෑගල අජන්ත රත්නායක, උණවටුන ඩී.ජී සුගතපාල, අහංගම සුමතිපාල දීයහගගේ, මැදිරිගිරිය චාපා මධුභාෂිණී සහ රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා)

 



අදහස් (1)

ඇඳිරිය අස්සේ රටපුරා උද්ඝෝෂණ

Sanjeewa Monday, 04 April 2022 05:38 PM

ඇඳිරි නීතිය හදිසි නීතිය. ජනතාව අභියෝගයට ලක්කරමින් පාරට බැස්සා රාජපක්ෂගේ සීනිබෝල ගැසට් නිවේදනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 330 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site