IMG-LOGO

‘ආයෝජන බැංකුවේ කෝටි 7ක් පිල්ලි ගිහින්‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ තරාතිරම්වල පුද්ගලයන් 46  දෙනකු ව්‍යාජ ලේඛන සකස් කර  රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න ණය මුදල්    ලබාගෙන වංචාකර   ඇතැයි  කියන සිද්ධියක් පිළිබඳව  පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය.

මේ තොරතුරු හෙළි වූයේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ( 23 )රැස් වූ අවස්ථාවේදීය.

ණයකරුවන් ලෙස හඳුනාගත්  එම  පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ඒ සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවදුරටත්  ක්‍රියාත්මක වන බවත් එම බැංකුවේ නිලධාරීහු මෙහිදී   පැවසූහ.

මීට වගකිවයුතු  කාර්ය මණ්ඩල සේවකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති  බව පැවසූ එම නිලධාරීහු  පරීක්ෂණ අවසන් වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන්   විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇතැයි සඳහන් කළහ.

එසේම මීට සම්බන්ධ බාහිර පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින  බවත් එක් අයෙකු මියගොස් ඇති බවත්   මෙහිදී අනාවරණය විය.

විශේෂයෙන්ම නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්වීමෙන් පසු මෙම ණය සම්බන්ධයෙන්  ඉක්මන් ක්‍රියාමාර්ග  ගෙන ඇතැයිද  සඳහන් විය.

ඒ අනුව නියමාකාරව  කටයුතු කරගෙන යන ලෙස කෝප් කමිටු සභාපතිවරයා එම  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම එම වර්ෂවලදී නිවාස ණය වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු විය .

කර්මාන්ත  සහ කෘෂිකර්මය වෙනුවෙන් ලබා දෙන ණය ප්‍රමාණය වැඩි කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පැවැසූහ .

කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් දැනටමත් ප්‍රමාණවත් පරිදි  ණය ලබා දෙන බව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

වර්තමානයේ මෙම බැංකුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

විධායක ශ්‍රේණියේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට මේ වන විටත් කටයුතු කර  ඇති බවත් ඇතැම් විධායක ශ්‍රේණියේ පුරප්පාඩු  සඳහා සුදුසු පුද්ගලයින් අයදුම් නොකරන බවත් බැංකු නිලධාරීහු පැවසූහ.

ඇතැම් පුද්ගලයින් පත්වීම් ලබා කෙටි කලකින් ඉවත්ව යන බවත් සඳහන් විය.

එම තනතුරු සඳහා වැටුප් ප්‍රමාණවත් නොවේ නම් අවශ්‍ය සංශෝධන සිදුකර එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙස  කෝප් කමිටුවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

එසේම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වසර 30 පමණ කාලයක  සිට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක  පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය .

තවද ස්වයංක්‍රීය බැංකු පද්ධතියක් පිහිටුවීමේ ක්‍රියාකාරකම් පිළිබඳවද සාකච්ඡා කෙරුණු බව කෝප් කමිටුව පවසයි.

මෙම කාරක සභා රැස්වීමට  අමාත්‍ය (ආචාර්ය)සරත් වීරසේකර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත,  එරාන් වික්‍රමරත්න, (ආචාර්ය)  හර්ෂ ද සිල්වා සහ  මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (0)

‘ආයෝජන බැංකුවේ කෝටි 7ක් පිල්ලි ගිහින්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site