(සුජිත් හේවාජුලිගේ)

ආබාධිතභාවය යන්න හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් පමණක් නොව සමාජීය සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයකින්ද බැලිය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  (වෛද්‍ය) හංසක විජේමුණි මහතා පැවසීය.

ඔහු  මේ බව සඳහන් කළේ  2026 මාර්තු 20දා ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ජාතික අපස්මාර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති ආබාධ සහිත තැනැත්තන් සඳහා වන සේවා සැපයීම පිළිබඳ සංවේදීකරණ වැඩසටහනට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව යම් ප්‍රගතියක් ලබා තිබුණද, ආබාධ සහිත තැනැත්තන් සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී තවමත් භෞතික, සන්නිවේදන මෙන්ම ආකල්පමය දුෂකරතා රැසකට මුහුණ දෙන බව හෙතෙම පැවසීය. සමාජයීය බාධක හඳුනාගැනීම, සංවේදීතාවය ඉහළ නැංවීම සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට රජය කැපවී සිටින බව ප්‍රකාශ කළ ඒ මහතා, සෞඛ්‍ය තොරතුරු ආබාධ සහිත තැනැත්තන් සඳහ‍ා බහුවිධ ආකෘතිවලින් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික වෛද්‍ය දැක්මෙන් ඔබ්බට ගොස් සමානාත්මතාවය සහ ගෞරවය මත පදනම් වූ සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විධිමත් ලෙස සංවේදී කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය. මෙම සියලු කටයුතු සම්බන්ධයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ලබා දෙන දායකත්වය ප්‍රශංසනීය බව  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශ මූලික කරගනිමින් පවත්වනු ලබන සංවේදීකරණ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි. සෞඛ්‍ය අංශයේ සේවා සැපයීමේදී ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය කරගැනීම පිළිබඳව එම නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුව ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන පදනමේ (IFES) අනුග්‍රහයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධාන කරන ලදි. 

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන්ට “නිර්බාධිත සමාජ ජීවිතයක්” උරුම කර දීම සඳහා ගත් එක් පියවරක් ලෙස මෙම සංවේදීකරණ වැඩසටහන් මාලාව හඳුන්වා දුන්නේය.  පවතින නිදහස් සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කළ ඒ මහතා මෙරට වෙසෙන ලක්ෂ 16කට අධික වූ ආබාධ සහිත තැනැත්තන්ට සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී භෞතිකමය හා ආකල්පමය බාධක පවතින බවද සඳහන් කළේය. සෞඛ්‍යය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති  අයිතිය යනු ජීවත්වීම සඳහා ඇති මූලික අයිතියක් බව හෙතෙම අවධාරණය කළේය. අනාගත සෞඛ්‍ය වෘත්තිකයන් සිය පුහුණු කාලසීමාවේ සිටම මේ පිළිබඳව සංවේදී කිරීම තහවුරු කිරීම සඳහා වෛද්‍ය හා හෙද විද්‍යාලවල විෂය මාලාවට ආබාධිතභාවය පිළිබඳ නව දැක්මක් සහ විශේෂිත මොඩියුලයක් ඇතුළත් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් මහතා යෝජනා කළේය.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම-සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති අශෝක වීරවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චමරි වීරරත්න,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිශානි උබේසේකර මෙන්ම වැඩසටහනට සහභාගි වූ ආබාධිත ප්‍රජාවේ නියෝජිතයෝද  සිය අදහස් පළ කළහ.

එහිදී රෝහල් කවුන්ටරවල සංඥා භාෂා පරිවර්තකයන් නොමැති වීම, රෝහල්වල උසින් වැඩි කවුන්ටර සහ ශල්‍ය ඇඳන් නිසා ආබාධිත ප්‍රජාව මුහුණ දෙන අපහසුතා, කොමඩ් පුටු සහිත වැසිකිළි නොමැති වීම සහ ආබාධිත තැනැත්තන් සඳහා ඇති වැසිකිළිවල පවතින 'සැලූන් දොරවල්' නිසා පෞද්ගලිකත්වයට හානිවීම ආදී කරුණු ඉදිරිපත් කෙරිණි. එමෙන්ම පෝලිම්වල රැඳී සිටීමට අපහසු බුද්ධිමය ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන හැඳුනුම්පත් අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය විය. 

එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රෝහල්වල බෑවුම් (Ramps)සහිත ප්‍රවේශ්‍යතා පහසුකම්, ආබාධිත වැසිකිළි සහ විශේෂිත ඖෂධ කවුන්ටර ඉදිකිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.  මූලික රෝහල් සඳහා මූලික සංඥා භාෂාව පිළිබඳ පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත පර්යේෂණාත්මක 'සහය මධ්‍යස්ථාන' (Support Centers) සැලසුම් කර ඇති බවද එහිදී අනාවරණය විය.

යෝජිත සහාය මධ්‍යස්ථානවල සේවය සඳහා ආබාධ සහිත තැනැත්තන්ම අනුයුක්ත කළ යුතු බවත්, එමගින් එම සේවාවන් අත්දැකීම් මත පදනම්ව වඩාත් ඵලදායී ලෙස ලබාදිය හැකි බවත් වැඩසටහන අවසානයේදී යෝජනා විය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සංවේදීකරණය සහ යටිතල පහසුකම් ප්‍රමිතිගත කිරීම පිළිබඳ ප්‍රායෝගික නිර්දේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට මෙහිදී එකඟතාවය පළ විය.

මෙම වැඩසටහන සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ අබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආයතන හා සංවිධානවල නියෝජිතයෝ  පිරිසක් එක්ව සිටියහ.