(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයට  තුඩුදී  ඇති අධිභාර බද්ද පිළිබඳ පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කරනු ලැබීය.

මෙම  පනත් කෙටුම්පත  ඉදිරි දිනයක විවාදයට ගැනීමට නියමිතය.

මෙම  පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී  අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ

අර්ථ සාධක අරමුදලෙන් බදු අයකර ගැනීමට අදාළ කාරණය ඉවත් කරන බව  මුදල් ඇමැතිවරයා පැවසූවත් පනත් කෙටුම්පතේ එය තවමත් සඳහන්ව තිබෙන බවයි.

මේ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මුදල් අමාත්‍යවරයා ඒ ගැන රටට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදී ඇති බව කීවේය.

ඒ අනුව ඉදිරියේදී සුදුසු  කටයුතු සිදුවන බව පැවසූ ගුණවර්ධන මහතා පනත සලකා බලන කාරක  සභා අවස්ථාවේදී එම වෙනස්කම්  කළ හැකි බවද සඳහන් කළේය.

මේ සභාවේ පනත් සම්මත කරගන්නා කරගන්නා ආකාරය ගැන දැනුමක් ඇති කිරිඇල්ල මහතා මේ ආකාරයට නවකයකු විදිහට හැසිරීම ගැන කනගාටුවන බවද  සභානායකවරයා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ තිබෙන ප්‍රශ්න හා ගැටලු අදාල විවාදයේදී සාකච්ඡා කළ හැකි බවයි.