(සුජිත් හේවාජුලිගේ)

විදුලිය බිල සියයට 70 කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ආපස්සට හරවා ගන්නා ලෙස මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.

ඇමැතිවරුන් තවත් පිරිසක් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද විදුලි බිල වැඩිකිරිමේ තීරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

අපොස උසස් පෙළ විභාගය ලබන මාසයේ පැවැත්වෙන හෙයින් විදුලිය කප්පාදුව හෝ විදුලි බිල වැඩි කිරීම මේ අවස්ථාවේදී නොකළ යුතු බව තමාගේ අදහස යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.

ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

විදුලිය ගාස්තු යළි වැඩි කළහොත් නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා පමණක් නොව භාණ්ඩ මිල දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බව පෙන්වා දෙන මැති ඇමැතිවරු පිරිසක් ජනතාව ආර්ථික අතින් තවත් පහළට ගොස් දැඩි පීඩාකාරී තත්ත්වයකට ඇද වැටිය හැකි බවද ප්‍රකාශ කරති.

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල දී පියවර 2 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා ආර්ථිකය ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී පැවසීය.

විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි කළ යුතු බව එම මණ්ඩලයේ ප්‍රධානීන්ගේ අදහස වී ඇත.