(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මුලිකත්වයෙන් ‘ජන අරගල ව්‍යාපාරය’ නමින් මහජන ව්‍යාපාරයක් අද (27) ආරම්භ කළේය.

‘ජන අරගල ව්‍යාපාරයේ ’ පළමු සමුළුව ‘ඇත්ත බලාපොරොත්තුවක් - මහජන ව්‍යාපාරයක්‘ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී අද (27) පැවැත්විණි.

මෙම සංවිධානයට වෘත්තී සමිති, බහුජන සංවිධාන, ගොවි, ධීවර, කාන්තා , තරුණ හා ශිෂ්‍ය සංවිධාන, පූජක ප්‍රජාව, සරසවි ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සමාජයේ සියලුම අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ.

ඉතිහාසයක් පුරා මෙරට පාලක පන්තිය අනුගමනය කළ දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලයක් ලෙස දකින මෙම සමුළුව එම ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා උපාය මාර්ගික සටන් පාඨ හයකින් යුතු එකඟතාවක් මත ජන අරගල ව්‍යාපාරය ක්‍රියාත්මක කරයි.

මෙකී අරමුණු වෙනුවෙන් ජාති, ආගම්, කුල, පක්ෂ සහ පාට භේදවලින් තොරව පීඩාවට පත් සියලු ජනතාව බලමුළු ගන්වන පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම උදෙසා උපරිම කැප වීමෙන් මැදිහත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.