(අංජුල මහික වීරරත්න)

ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා  රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි. 

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ 'Rebuilding Sri Lanka' යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

ව්‍යසනයෙන් පසු රටත්, ජන ජීවිතයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසුවද, මේ වන විට විනාශ වූ සියලු මාර්ග ජනතාවට යළි විවෘත කරමින් සන්නිවේදනය, විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථාවත් කර යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වේගවත් කර  තිබෙන බව පැවසු ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී රාජ්‍ය නිලධාරීන් දිවා රැ නොබලා ඉටු කළ කාර්යභාරය අගයන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය රටත්, ජනතාවත් වෙනුවෙන් සිදු කරන කැපවීම එම ව්‍යසනය හමුවේ ඔප්පු කර තිබෙන බවත් සඳහන් කළේය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීම වෙනුවෙන්  ඉගුරුවත්තේ විමලජෝති හිමි සහ රිදීගම ඩී.පී. අබේරත්න මහතා සහ එම මැතිණිය කළ ඉඩම් හා මූල්‍ය පරිත්‍යාගද මෙහිදී ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය.