(සුජිත් හේවාජුලිගේ )

රටේ බරපතළ වසංගතයක් පවතින අවස්ථාවක රජය කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ගැන ජනතාව මීට වඩා දැනුවත් විය යුතු බව නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ පැවසූහ.

එන්නත්කරණය නිසා ලොව සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනතාව අත්විඳින මානසික සැනසිල්ල ඉමහත් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

උන්වහන්සේ මෙසේ  පැවසූවේ විචිත්‍ර ධර්ම කථික, බොරැල්ලේ කෝවිද හිමියන්  විසින් රචිත  “මිත්තානිසංස” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.  මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේගේ ශාසන දිවිය අලළා  මෙම ග්‍රන්ථය රචනා  කර ඇත. රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ(22) මේ උත්සවය පැවැත්විණ.

මෙම ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපතිවරයා විසින් මාපලගම බුද්ධසිරි හිමියන්ට පිළිගන්වනු ලැබීය. උත්සවයෙන් අනතුරුව පැවති දානමය පිංකමටද ජනාධිපතිවරයා සහභාගී විය.
මේ අවස්ථාවට මහානායක අනුනායක නාහිමිපාණන් වහන්සේලා  ප්‍රධාන මහා සංඝරත්නයද  ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන්  ඇතුළු පිරිසක්ද  සහභාගිවූහ.