(රංජිත් රාජපක්ෂ)

නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කල නිළධාරිණියන් දෙදෙනා යලිත් සැප්තැම්බර් දින08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (25) දින නියෝග කලේය.

මෙසේ යලි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ ‍නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති ලලිතා නැමති 31 හැවිරිදි අය සහ හැටන් දික්ඔය කාපෙක්ස් ජනපදයේ පදිංචි විෂ්වනාදන් තුෂාදරණි නැමති 32 හැවිරිදි යන අයයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ, සැකකාරිණියන් දෙදෙනාගෙන් එක් සැකකාරිණියක් ගැබිණි කාන්තාවක් බවත්, ඇයගේ සෞඛ්‍ය තත්වය පිලිබදව සලකා ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකාරිණියන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙසයි.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කල හැටන් කොට්ඨාශ විමර්ෂණ ඒකකයේ නිළධාරින් කියා සිටියේ, මෙසේ වංචා කල මුදල මේ වන විට රු.ලක්ෂ දෙසිය පනහ ඉක්මවා ඇති බවට සිදු කරන ලද මූලික විමර්ෂණයේදි කරුණු අණාවරණය වු බවත්, මෙම මුදල් වංචාව සම්බන්ධයෙන්නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සිදු කරන විගණනය අවසන් කර නොමැති නිසා මෙම සැකකාරියන්ට ඇප දීමට විරුද්ධ වන බවයි.

දෙපාර්ෂවයේම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාරිණියන් දෙදෙනා යලිත් සැප්තැම්බර් (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කලහ.

මේ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ගිණුමට මුදල් බැර නොවුනු ප්‍රතිලාභීන් (24) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ගිණුම් පරික්ෂා කර ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටි අතර, එහිදි එම කාර්යාල නිළධාරින් ප්‍රතිලාභීන් හමුවේ කියා සිටියේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛණයක් කඩිනමින් තම කාර්යාලයේ සහ ග්‍රාම සේවා කාර්යාලවල ප්‍රදර්ශනය කිරිමට කටයුතු කරන බවයි.