(අංජුල මහික වීරරත්න සහ ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය අද( 11 ) සාර්ථකව සිදු කෙරුණි.

මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව ගුවන් හමුදාව පවසයි.

“සිංහ පැටවා” යන විරුදාවලියෙන් හඳුන්වනු ලබන අංක 10 ප්‍රහාරක බලඝණයට අයත් Kfir ප්‍රහාරක ජෙට් යානා නවීකරණ වැඩසටහන Israel Aerospace Industries (IAI) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir C2, Kfir C7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතරක් මෙන්ම Kfir TC2 වර්ගයේ පුහුණු ජෙට් යානයක්ද නවීනතම Kfir C12 තාක්ෂණික ප්‍රමිතිය දක්වා උසස් කිරීම සිදු වෙමින් පවතී.

මෙම නවීකරණය කරන ලද Kfir ප්‍රහාරක ජෙට් යානය විවිධ උස මට්ටම් යටතේ තවත් පරීක්ෂණ පියාසැරි පහක් පමණ සිදු කිරීමට නියමිතය. ඉදිරි දිනවලදී කටුනායක ගුවන් හමුදා කඳවුර අවට ප්‍රදේශවල ජනතාවට මෙම නවීකරණය කරන ලද ප්‍රහාරක ජෙට් යානයේ ගුවන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නවීන තාක්ෂණික හැකියාවන් පිළිබඳ ජනතාවට සජීවී අත්දැකීමක් ලබා දෙන විශේෂ අවස්ථාවක් ලෙසද සැලකේ.

පළමු පරීක්ෂණ පියාසැරිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සිදු කෙරිණි.