(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග  යුද තත්ත්වය හමුවේ ඇතිව තිබෙන  අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රටේ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් යළි ඇති නොවන බවද ජනපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි. 

1999 වසරේ ආරම්භ  ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 වසරේ සිට සම්පූර්ණයෙන් නතර වී තිබිණි. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමකට අනුව වැඩ ආරම්භ කර වසර 24කට පසුව යළි මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සදහා සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන 2026 අයවැය යටතේ වෙන් කර ඇත. ඉතිරි ප්‍රතිපාදනද අවශ්‍යතාව පරිදි වෙන් කිරීමට නියමිත අතර, ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් 2027-12-31 දින වන විට අවසන් කිරීමට නියමිතය.