
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග කලාපයේ අරබුදකාරී වාතාවරණය සඳහා විසඳුම් ලබා ගත හැකි ප්‍රධානතම මාර්ගය ඉස්ලාමය පෙන්වා දෙන ඉවසීම, කරුණාව, එකමුතුකම හා මනුෂ්‍යත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි.
විපක්ෂ නායකවරයා මෙසේද කියයි.
ලෝ පුරා ඉස්ලාම් බැතිමතුන් රාමලාන් මස උපවාසය නිමාවට පත් කරන මේ මොහොතේ, ඉස්ලාමය අපට උගන්වන මානව ධර්මතා පිළිබඳ ව වඩාත් ගැඹුරින් විමසා බැලීම සිදු කළ යුත්තකි.
ඉස්ලාම් බැතිමතෙකු විසින් ඉටු කල යුතු වගකීම් පහක් පෙන්වා දී තිබේ. එනම්, විශ්වාසය, පස්වේල් සලාතය, රාමලාන් මස උපවාසය, සකාත් හෙවත් දුගී බද්ද ගෙවීම සහ හජ් වන්දනය යි. මෙම වගකීම් පහ තුළ ම ඉස්ලාම් බැතිමතුන්ට පෙන්වා දී ඇත්තේ සාමය, සංහිඳියාව පිරි සමාජයකට මඟ කියන ජීවන මාර්ගයක අවශ්‍යතාවය යි. රාමසාන් මාසයේ ඉස්ලාම් බැතිමතුන් සිදු කරන උපවාසය තුළ කැපවීම, ඉවසීම සහ ආධ්‍යාත්මික පවිත්‍රතාවය පිළිබඳ ව වූ පාඩම් රැසක් කියා දෙයි.
මේ මොහොතේ බහුතරයක් ඉස්ලාම් බැතිමතුන් ජීවත් වන මැදපෙරදිග කලාපයේ මතුව ඇති අරබුදකාරී වාතාවරණය සඳහා විසඳුම් ලබා ගත හැකි ප්‍රධානතම මාර්ගය ඉස්ලාමය පෙන්වා දෙන ඉවසීම, කරුණාව, එකමුතුකම හා මනුෂ්‍යත්වය බව අප වටහා ගත යුතු ය. නොඉවසිල්ල, ඉවසීම තුළත් වෛරය, කරුණාව තුළත් බෙදීම, එකමුතුකම තුළත් ගොඩනැගෙන වැඩපිළිවෙලක් තුළ මේ අර්බුදයට විසඳුම් සෙවීමට හැකි ය. ඒ සඳහා වර්ධනය කළ යුත්තේ මනුෂ්‍යත්වය යි.
අරගලයක් විසඳීමට බලය හෝ නීතිය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ජනතාවගේ සිතුවිලි ශක්තිමත් යහපත් මාර්ගයකට ගෙන ඒම වැදගත් ය. රාමසාන් මාසය තුළ ඉස්ලාම් බැතිමතුන් පෙන්වා දෙන්නේ සිය මනස තුළ ගොඩනැගෙන ශක්තිමත්භාවය යි. මේ මොහොතේ දී සැබෑ රාමසාන් සැමරුම ලෙස අප අවබෝධ කර ගත යුත්තේ ද එය යි. එවැනි මිනිස් සිතුවිලි වඩාත් හොද සාමකාමී හා සමාජ සාධාරණත්වය සඳහා කැපවෙන අවස්ථාවකට ලෝකය තුළ පරිවර්තනයක් සිදු වේවායි අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු.
මෙවැනි උත්තුංග සිතුවිලි ලෝකයේ ජනතාවගේ සිත් තුළ දැල්වෙන්නේ නම් යුද ගිනි දැල් නිවී සාමයේ පහන් සිළු ලොව පුරා දැල්වෙනු නොඅනුමාන යි.
ලෝ වාසී සහ ශ්‍රී ලංකාවාසී සියලු ම ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊද්-අල්-ෆිතර් උත්සවයක් ප්‍රාර්ථනා කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd