(ඩයනා උදයංගනී)

දැනට ඉදිකිරීම් කටයුතු අතරමග නැවතී ඇති ‘පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ’ ඉදිකිරීම් කටයුතු වහාම ඇරඹීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වහාම ලබාදී එහි ඉදිකිරීම් අවසන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන වහාම ලබාදී අමරදේව අසපුව වහාම නිමකරන ලෙස කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කර නියෝගයක් නිකුත් කළ බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් කෝටි 20ක වියදමින් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ඉදිකිරීම ඇරඹුණු අමරදේව අසපුවේ ඉදිකිරීම් අතරමග නතරවීම පිළිබඳව වාර්තා කළ ‘ලංකාදීප’ පුවත්පත ඇතුළු මාධ්‍ය වෙත ස්තුතිවන්ත වන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.