(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල්  කමල් ගුණරත්න මහතා  ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ එම පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එම කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (23)  පැවැත්විණ.

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්   ඩබ්. එච්. කරුණාරත්ත, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එල්.පී.ආර්. අභයරත්න,නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  ඩී.එන් ලියනගේ ,වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා  එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක , ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ  යන මහත්ම මහත්මීන් පත් කිරීමට මෙසේ අනුමැතිය ලැබී ඇත.

මෙයට අමතරව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ ,  සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ පත්වීම් සඳහාද අනුමැතිය හිමිවිය.

මෙම රැස්වීමට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක,  විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර ප්‍රියදර්ශන යාපා,  ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, තලතා අතුකෝරළ සහ  ධර්මලිංගම් සිද්ධාර්තන්  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.