(ඩයනා උදයංගනී)

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (14) දිනයේත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.