(රොමේෂ් මධුෂංක )                              

යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේදී අද (10) පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවට කයිට්ස් පොලිසිය  කියයි.

මණ්ඩතිව් අල්ලේයිපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් මුර පොලක් අතරින් ධාවනය වූ වෑන් රථයක් පොලිස් නිලධාරින් නැවැත්වීමට ගත්  උත්සාහයකදී අදාළ වෑන් රථය නොනවත්වා ධාවනය කොට ඇත. 

එහිදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය නැවැත්වීමට කීප අවස්ථාවකදීම විධානය කළද වෑන් රථය නොනැවැත්වීම හේතුවෙන් වෑන් රථයට වෙඩි තැබූ බවට පොලිසිය පැවසීය. 

වෙඩි තැබීම හේතුවෙන් වෑන් රථයේ සිටි රියදුරු බරපතල තුවාල ලබා  යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත. 

අදාළ වෑන් රථය යම්කිසි අපරාධ ක්‍රියාවකට ගමන් කරමින් තිබුවේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කරන අතර වෙඩි තැබීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ වඩුක්කෝඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයකු බවටද පරීක්ෂණ සිදු කරන කයිට්ස් පොලිසිය වැඩිදුරටත් පැවසීය.