අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කෙරුණු 6  වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව ගැන සාධාරණ පරීක්ෂණය පැවැවීමට සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව මහා ජන හඩ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සඳහන් කර සිටිතී.

එවැන්නක් 6  වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය ඇතුලත් කරනු ලැබුවේ අගමැතිනිය බවට සමාජය තුළ සාධාරණ සැකයක් තිබෙන බවත්, ඒ අනුව එම පරීක්ෂණ සිදු කරන තෙක් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්  බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද (5) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් අවධාරණය කර සිටියහ.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක් වූ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ අගමැතිවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවී සිදු කරන පරීක්ෂණ සාධාරණ පරීක්ෂණයක් යැයි සමාජය විශ්වාස නොකරණ බවත්, විශාල විනාශයකට පාර කපනු ලැබූ විෂය භාර ඇමතිවරිය අග්‍රමාත්‍යතුමිය බවත් බවය.

එමෙන්ම එවැනි බරපතල විනාශයක් සිදු වුණේ කොහොමද කියලා පැහැදිලි කර ගැනීමට නොහැකිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සරණ පතන ඇමතිවරියකට රටේ දරුවන්ගේ අනාගතය භාර දිය නොහැකි බවත්, අගමැතිවරිය තමන්ගේ නොහැකියාව පෙන්නුම් කර අවසන් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූවේ අධ්‍යාපන මොඩියුල සකස් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ඇමතිවරයා, අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් කිසිදු අවස්ථාවක නිසි අවධානයක් යොමු කර නැති බවත්, ඒ අනුව එම මොඩියුලයන්හී වැරදි ඉස්මතුවෙමින් තිබෙන බවත්ය.

අදාළ ගැටලුව පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, එම දෙපාර්තමේන්තුවට විෂය මාලා පිළිබඳ සෙවීමට නොහැකි අතර, එය අධ්‍යාපනඥයන් සිදු කළ යුතු කාර්යක් බවත් හෙතෙම සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවට හිටපු අමාත්‍ය ටිරාන් අලස්, එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගරි එම්.ෆාරුක් මහතාද එක්ව සිටියහ.