(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ අංග සම්පූර්ණ රෝහල් පද්ධතියක් තිබුණද සේවය සඳහා සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් 2200ක් ඉන්නවා.ඒ බන්ධනාගාරයේ අංග සම්පූර්ණ රෝහල් පද්ධතියක් තිබෙනවා.පිරිමි ඇඳන් හතළිහක් සහ කාන්තාවන් සඳහා ඇඳන් දහයක් තිබෙනවා.නමුත් මේ රෝහලට සිටින්නේ එක වෛද්‍යවරයෙක් පමණයි.ඔහු සේවය කරන්නේ දින පහක් දහවල් කාලයේ පමණයි.රාත්‍රී කාලයේ හෘදයාබාධයක් වැළඳී ළඟදී එහි පුද්ගලයෙක් මියගියා.

මේ බන්ධනාගාරයට අංග සම්පූර්ණ රෝහලක් මෙන්ම අවශ්‍ය උපකරණ ද තිබෙන නිසා ඊට වෛද්‍ය කාර්ය මණ්ඩලයක් පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.රාත්‍රී කාලයේ අසනීපයක් සිදුවුණොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා.ඒ වගේම මේ බන්ධනාගාරයට කුඩු ගෙනියනවා.ඒවා අල්ලන්න ශරීර ස්කෑන් මැෂින් එකක් නෑ.ගුද මාර්ගයේ සඟවා බන්ධනාගාරයට කුඩු ගෙන යද්දී හසු වී තිබෙනවා.සී.සී.ටී.වී කැමරා අක්‍රීය වෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.