(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අනිද්දා(24) සිට එළැඹෙන 30 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වනු ඇතැයි අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා  අද (21) ප්‍රකාශ කළේය.

මෙරටට පැමිණෙන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධනයන් මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කරනු ඇතැයිද පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය.

එසේම සතියක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරට බලධාරීන් සමග ඵලදායි සාකච්ඡා වටයක නිරත වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට අරමුදලේ විධායක කමිටුව පසුගිය මැයි 27 වැනිදා අනුමැතිය ලබා දුන්නේය.

මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9 ක ණය මුදලෙන් මේ දක්වා ඩොලර් බිලියන 2.4 ක මුදලක් නිදහස් කර ඇත.