(අජිත්ලාල් ශාන්තඋදය)
රටේ ජනතාව අතරින් දාහතර ලක්‍ෂයක් වූ රාජ්‍ය සේවකයින් රට සංවර්ධනය කිරීමේ ප‍්‍රමුඛ බලවේගය බවත්, රාජ්‍ය සේවයේ ඉන්න උගතුන්, බුද්ධිමතුන් බහුශ‍්‍රැතයින්, දේශපාලනඥයන්ගේ දොස් කියකියා නොඉඳ ඔවුන් සේවය කළයුතු පැය 8න් පැය 6ක්වත් හරියට සේවය කර දේශපාලනඥයින්ගේ කම්මැලිකම්, නොහොබිනාකම්, දූෂිතකම් ඔක්කොම පෙරළාගෙන ඉස්සරහට පැමිණ මේ රට ගොඩගතයුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (29) රත්නපුරේදී පැවසීය.
ඇහැළියගොඩ සහ තලාවිටියේ විවෘත කිරීම් කිහිපයකින් පසුව රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් සභා ශ‍්‍රවනාගාරයේ පැවති ‘සබරගමුව ලස්සනයි’ වැඩසටහන හඳුන්වාදීමේ උත්සවය අමතමින් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
"ආණ්ඩුකාර සබරගමුව ලස්සනයි කියනකොට මට කියන්න තියෙන්නේ රටම ලස්සනයි කියලා. මම අද උදේ ආවේ පොළොන්නරුවේ ඉඳලා. ඒ එනකොට පහුකරගෙන ආව පළාත්, දිස්ත‍්‍රික් ගණනාවක් පහුකළා. ඒ හැම තැනම ලස්සනයි.
මේ ලස්සන රට ලෝකයේ අනික් රාජ්‍යයන්ට දෙවැනි නොවන තැනට පත් කරන්නට අපි ලොකු උත්සාහයක් ගන්නවා. අලුත්වැඩ පටන් ගන්නකොට සමහරු ගල් ගහනවා. ඔය ‘ලස්සන’ වැඩසටහන කරගෙන යනකොට බොහෝම දුෂ්කර වේවි. විරෝධතා ඒවි. ලස්සනට කැමති වගේම අකමැති අයත් ඉන්නවා. ඒක අපි තේරුම්ගත යුතුයි.
අපේ රට පළාත් නවයකින් යුතු පුංචි රටක්. ඒ වුණාට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියන රටක්. අද ලෝකයේ ලොකුම ලොක්කටත් අවුරුදු 500ක ඉතිහාසයක් තියෙන්නේ. අපි අවුරුදු දහස් ගණනක කතාවක් කියන රටක්. මීට අවුරුදු ලක්‍ෂ පහකට ඉහත මේ රටේ මිනිස් ජනාවාස තිබුණ බව මානව විද්‍යාඥයින් කියනවා. නමුත් ජනාවාස තිබුණ රටක්. අවුරුදු 50,000කට පෙර රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ යකඩවලින් නිෂ්පාදිත විවිධ කර්මාන්තයන් තිබුණ බවට සාධක තියනවා.
ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ පළාත් සභා පනත සම්මත කරලා අපේ රටේ පළාත් නවයක් වුණා. මගේ මතකයේ හැටියට පළාත් සභා පිහිටුවලා අවුරුදු 30කට වැඩියි. ඒ නිසා පළාත් සභා පිහිටුවීමේ අරමුණ කොතෙක්දුරට ඉෂ්ට වෙලාද කියන කාරණය අපි ආපසු හැරී බැලිය යුතුයි.
අපේ පළාත් නවයෙ ඇතැම්විට උප සංස්කෘතීන් නවයක් තියනවා. රටක් ලෙස ගත්තහම මහා සංස්කෘතියකට අපි හිමිකම් කියනවා. භාෂාව පළාතෙන් පළාතට, දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට වෙනස්. මිනිසකුගේ උසින්, මිටින්, පැහැයෙන්, වර්ණයෙන්, මිනිසෙක් පිළිබඳ තීන්දු ගන්න බෑ. රටක් ගත්තාම රටක භූමි ප‍්‍රමාණයෙන් රට ගැන තීන්දු ගන්න බෑ. අපේ රට භූමියෙන් පුංචි වුණා කියලා ලෝකයේ භූමියෙන් විශාලයි කියන මහා ලොක් ප‍්‍රබලයින්ට අපි දෙවැනි වෙන්නේ නෑ.
අපි මේ උත්සාහ කරන්නේ රටක් ඉස්සරහට ගෙනියන්න. මිනිස් සමාජයක් යහපත්ව ගොඩනගනවිට භෞතික වශයෙන් දකිනවා වගේම ආධ්‍යාත්මික වශයෙනුත් ඒක ගොඩනැගෙන්න ඕනෑ. පන්සලේ හාමුරුවෝ පැය අටක් නෙවෙයි මුළුකාලයම දැහැමි සමාජයක් ගොඩනගන්න ඇප කැප වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත්පාලන අයතන ගත්තාම මහජන නියෝජිතයෝ 7,000කට වැඩිය ඉන්නවා.
අපි අස්ථිරයක් කියලා හිතනවා නම් ජීවිතය, තනතුර, පදවිය අස්ථිරයක් කියලා හිතනවනම් ජීවත්ව ඉන්න කාල සීමාව තුළ යමක් කළ යුතුයි කියලා අදහසක් තියනවා. බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත්වන අපි වැඩපිළිවෙළක් කරන විට ඒක හිටගට ගන්න. අතට ගන්න. ඔළුවට ගන්න. තවත් කඩදාසියක් බවට පත් නොකරන්න. ඒ මම වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන්. ඔබ වෙනුවෙන්. ඔබේ දරුවන් වෙනුවෙන් සහ හෙට උපදින දරුවන් වෙනුවෙන්. අපි අපේ බලාපොරොත්තු ඉටුකරගන්නනම් සාමූහිකව ක‍්‍රියා කළ යුතුයි.
දේශපාලනයේ, රාජ්‍ය සේවයේ තනි තනිව හිතනවා. තනිතනිව වැඩකරන්න හිතනවා. තනිතනිව වැඩකරන්න යනවා. තනිතනිව හිතලා, ක‍්‍රියාකරලා ජයග‍්‍රහණය ලබන්න බෑ. හැමවෙලේම සාමුහිකත්වය තමයි වැදගත් වෙන්නේ. සාමූහිකත්වය සහ පොදු බව තුළයි ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන් වෙන්නේ. රටක් වශයෙන ඉදිරියට යනවිට යහපත් දේට ශක්තියක් සහ කැපවීමක් දෙන්න ඕනෑ"
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දුනේෂ් ගන්කන්ද, ඒ.ඒ. විජේතුංග, සාරතී මිත‍්‍රපාල යන මහත්වරුද, ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරුද, රත්නපුර සහ කෑගල්ල දිසා ලේකම්වරුද, සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නගරයේ පාසල්වල තදබදය අවම කිරීම සඳහා තලාවිටිය විමලසාර විද්‍යාලයේ වැඩිදියුණු කළ පහසුකම් ද සිසු අයිතියට පැවරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ ගොයියා මොනවද දොඩවන්නේ කියලා... අපි හිතුවේ "සූත්තර පුංචා" විතරයි සෑමදාම " වේල් තුනටම මදුවැල් කැඳ " බොන්නේ කියලා බැලුවාම පතෝල මුදලාලිත් වේල් තුනටම මදුවැල් කැඳ බොනවනේ... ඔය කියන විදියට පැය 6ක් වත් සේවය කරනවා නම් (අප නම් විශ්වාස කරන්නේ පැයක්වත් මොවුන් සේවය නොකරන බවටයි, එමෙන්ම අවංකව තමා සේවය කරන ඉතාම ඉතා සුළු සේවකයන් පිරිසක් නැතුවාම නොවේ... ඔවුන්ට අප හදවතින්ම අපගේ ස්තුතිය පුද කරන්නෙමු...) මේ වෙනකොට අපගේ රාජ්‍ය සේවය සෑහෙන ඉහළ තලයක තියෙන්න ඕනේ. අනිත් වඩාත් වැදගත් කරුණ වන්නේ මේවා කිසිවෙකු රාජ්‍ය සේවයේ යෙදන මිනිසුන්ට කිව යුතුද යන්න.. එසේ මෙවන් උපදෙස් දෙන්නේ නම් සියලුම රජයේ සේවකයක් බාලාංශ පන්තියේ ඉගෙනුම ලබන ළදරුවන් විය යුතුමයි.. එබැවින් සියලුම රජයේ සේවකයන් පන්නා දමා නිසි අධ්‍යාපනයක් ලැබූවන් රජයේ සේවයට හැකි ඉක්මණින් බඳවා ගත යුතුයි. අමතක නොකරන්න දියවන්නා ඔයේ රිලව් 225ටත් මෙය අදාළ වන බව...
ඉතුරු පැය දෙකට මොනවද කරන්නේ..?
"පැය 8න් 6ක් වත්?" අපිට ඉගැන්නුවේ පැය 8න් 8ම වැඩ කරන්න.
ඇත්ත තමයි. ඔය ගොල්ලන්ගේ විනෝද සමය ගැන කතා කරන්න පැය 8ත් මදි...
කාලෙකට පස්සේ අපේ ජනාධිපතිතුමා හරවත් ප්‍රකාශයක් කරලා, ඔබතුමාට ස්තුතියි... වැරදි කියනවට වඩා මෙවැනි ප්‍රකාශ කිරීම හොඳයි.
උදේට නම දාලා, රාජකාරී වෙලාවේදී තම තමන්ගේ පෝෂණය කරගැනීම් තහනම් කල යුතුයි.! රේස් දාන්න බුකිගානේ දුවනවා. අඩි ගහන්න කසිප්පු පොළවල් ගානේ දුවනවා. ශොපින්ග් යනවා. යහළු මිත්‍රයෝ හමුවෙනවා. දවස පුරාම හෑන්ඩ් ෆෝන් එල්ලිලා එකට කොටකොටා ඉන්නවා. මේකට අපේ රටේ කියන්නේ රැකියාවක් කරනවා කියලයි..!
මොලේ කචල් එක තාම හොඳ නැහැවගේ.. පැය අට කියන්නේ හය නොවේ. කොහෙද ගණන්වත් තාම හරියට බැහැ. ඉබ්බා දියට දානකොට ඇන්නවයි කීවාලු... දැන් ඉතින් පැය අට හරියට කරන කට්ටියටවත් වැඩ කරන්න බැරිවෙනවා. හොරු ටික කියයි අරයා කිවා පැය හයක් වැඩ කරහම ඇතියි කියලා ඒ හින්දා හැමෝම ගෙදර යමු කියලා.
අපගේ බදුමුදල් වලින් සියලුම සැප සම්පත් විඳපු සහ විඳිමින් සිටින දියවන්නා ඔය මහවනයේ කුළුහරකුන් 225න් මෙසේ පැනයක් ඇසීමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා එක කුළු හරකෙකු හෝ පැනයට පිළිතුරු ලබාදෙයි යන්න. රජයේ සේවකයින්ගේ වැඩකරන පැය ප්‍රමාණය ගැන යෝජනා, චෝදනා කිරීමට පෙර දියවන්නා ඔයේ මරණාධාර සමිතියේ කී දවසක් ඝන පූර්ණයක් නැතිව "මරණාධාර සමිතිය" කල් දැම්මේද ඒ සඳහා වැය වුණු කෝටි ගණන් මුදල් එම හරකුන් ගෙවල්වලින් ගෙනත් භාණ්ඩාගාරයට නැවත බාර දුන්නේද? යන්න සොයාබලා හැකි ඉක්මණින් පිළිතුරක් ලබාදෙන මෙන් සියලුම පුරවැසියන් කුලුහරකුන් 225 ටම " අණ කරන්නෙමු ".
ඉතුරු පැය දෙකට වැටුප් ගෙවන්නේ කාගේ මුදලින්ද? මෙහෙව් හැත්තකටද අපිව ටැක්ස් කර රුපියල් දහස් ගණනින් වැටුප් වැඩි කරන්නේ...? මොවුන් වැඩ නොකරන බව දැනදැන ඇයි වැටුප් වැඩි කරන්නේ..?
"අපේ රටේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත්පාලන අයතන ගත්තාම මහජන නියෝජිතයන් 7,000කට වැඩිය ඉන්නවා". ඒ වුණාට පේනවා නේද වෙලා තියෙන දේ...?
රට ගැන හිතන එකා පැය 8 යි විනාඩි 5ක් වැඩකරනවා.
ජනපතිතුමා කියන කාරණය ගැන එතුමා මුල්පත්වීමට ගත් ග්‍රාමසේවක (වත්මනේ ගම්පති/ග්‍රාමනිලධාරී) නිලධාරීන් හරියට වැඩ කරනවාද කියන්න. පෙලක් එම නිලධාරීන් කාර්යාලයට එන්නම උදේ 11 ට පමණවෙලා. නැවත 12 වනවිට යනවා. නමුත් කියනවා අරකට මේකට ගියා කියලා ගිය තැනකුත් නැහැ. කරපු වැඩකුත් නැහැ. බලන කෙනෙකුත් නැහැ. ඒකයි තත්වය.... මෙයට අවුරුදු 35 කට පමණ පෙර මෙතරම් ප්‍රවාහන පහසුකම් නැතිකාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ක්ෂේත්‍රයේ ගියාම වැඩය අවසන්ව නැවත පැමිණ රාජකාරි කරනවා. දැන්කාලයේ නිලධාරීන් ඔවුන් අනුයුක්ත කාර්යාලයට කිලෝමීටරයක් ඇතුළත වැඩව ගියත් වැඩය අවසන්ව දුරකථනයත් විසන්ධිකර ගෙන නිවසට යනවා. බමුණුආරච්චි කියන ලෙසට ඉහළම වැටුපකුත් ලබනවා. දීමනා ගන්නවා. තවත් පිරිසක් වැඩයේ හෝ සමිතියේ ප්‍රගතියක් නැහැ කියමින් වෙන්කල මුදල් ඔවුන්ගේ හිතවතුන්ගේ වැඩට යෙදවීමට උත්සාහ කරනවා. නමුත් එවැනි අයට මෙන්ම කාර්යාලවලට ඵලදායිතා සම්මාන ඉහළින්ම ලැබෙනවා. නැත කියන කෙනෙක් සමීක්ෂණයක් කර බලන්න...
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා කියන පැය අටෙන් හයක් නොවෙයි හරි නම් ගන්න වැටුපට පව් ගෙවෙන්න හරිනම් පැය දහයක් වැඩ කරන්න ඕන. ඔබතුමා හිතනවද පහළ මාලයේ ලැබීම කවුන්ටරයට බාරදුන් ලිපියක් දෙවෙනි මහලේ අදාල අංශයට යැවීමට දින පහළොවක් ගියා කියල. එසේම එම රජයේ ආයතනයට දිනකට මහජනතාවගෙන් ලිපි 2000 ක් ලැබෙනවා කියා. එත් වසර දෙකකටවත් ලිපියට පිළිතුරක් නොලැබෙනවා කියා. මෙවැනි තත්වයක් තමයි අද රාජ්‍ය සේවයේ තියෙන්නේ. ඔබතුමාට හැකිනම් වෙලාවක් තියනවනම් ඔය යන එනගමන් හිටි ගමන් රජයේ කාර්යාලයකට උදේ නමයට ගොඩවන්න. කීදෙනෙක් ඇවිත්ද, කීදෙනෙක් තම ජංගම දුරකතනයේ එල්ලී ඉන්නවාදැයි කියල දැනගත හැකියි අද රාජ්‍ය සේවය ගැන කියන්නම දෙයක් නැහැ. ඇත්තේ කණගාටුවක් පමණයි.