සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති බලපිටිය

කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය  මේ වනවිට අවුරුද්දකුත් මාස 09ක් පුරා අඛණ්ඩව වෙනස් ප්‍රභේද ගොඩ නඟමින් ව්‍යාප්තිය සිදු කරමින් පවතී. ඉකුත් අප්‍රේල් මාසයේ සිට තෙවැනි රැල්ලේ ඇරැඹුමත් සමඟ අපේ රට මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ ඩෙල්ටා ප්‍රභේදයේ ශ්‍රීඝ්‍ර ව්‍යාප්තියයි. එම ව්‍යාප්තියත් සමඟ ආසාදිතයන්, මරණ ප්‍රතිශතය, නිරෝධායන පිරිස්වල අසීමාන්තික ඉහළ යාම හමුවේ රෝහල් ධාරිතාව ඉක්මවා යෑම්ද වාර්තා විණි. මෙම අධි වසංගත තත්ත්වය මැඬලීමටත් , සෞඛ්‍ය යාන්ත්‍රණය කඩා නොවැටී පවත්වා ගෙන යාමටත් විවිධ සංචරණ සීමා පනවමින් අවසානයෙදී රට අගුලු ලැවිණි. 

කොවිඩ් රැල්ලේ පැහැදිලි අඩු වීමක්. ඒත් අවදානම දිගටම.....

රට අගුලු දැමීමෙන් අනතුරුව එළැඹුණු සති දෙක , තුනක පමණ කාලයක සිට වේගවත් ව්‍යාප්තියේ පැහැදිලි අඩපණ වීමක් දක්නට ලැබුණි. එහෙත් ආසාදිතයන් හා මරණ අනුපාතය පහළ වැටුණු පමණින් අවදානමින් බැහැර වූවා යැයි කිව නොහැක. සිදුව ඇත්තේ අවදානම යම් තරමකට අඩු වීමකි. එහෙත්  තවමත්  අපි කොවිඩ් අවදානම් කලාපයේ හිඳින්නෙමු.

තව දුරටත්  වසංගතයේ පැවැත්ම....

වසංගත තත්ත්වය කොපමණ කාලයක් පවතීද යන්න කිසිවකුටත් පුරෝකථනය කළ  නොහැකියි. වසංගතය පවතිද්දිම මර්දනය කරමින්, ඉන් ආරක්ෂා වෙමින් ජීවත් වීමට සිදුවේ. ඒ අනුව වයිරසයට එරෙහි සටන තව කාලයක් පුරාවට පවතිනු ඇති බව පමණක් කිව හැකියි. 

රට විවෘත කිරීමත් සමඟ මතුවන අභියෝග....

රට විවෘත කිරීමත් සමඟ ජන ජීවිතයද යථා තත්ත්වයට පත් වීඇති බව පෙනේ.  එහෙත් එය නිවැරැදිද වන්න අප විසින්ම අවබෝධ කර ගත යුතුයි. ඔඩුදුවමින් පැවැති වයිරස ව්‍යාප්තියේ මේ ඔබ අප දකින පසුබෑම ලෙහෙසි පහසු නොවූ බව නම් ඉතා පැහැදිලියි. 

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ සියල්ලෝම නව ජීවන රටාවකට හුරු වූහ. 

සෞඛ්‍ය පුරුදුවලට වඩාත් අනුගත වෙමින් රට විවෘත වෙද්දී එන්නත් ආවරණය අතින්ද අපේ රට ප්‍රමුඛස්ථානයක සිටීම වැදගත්ම කරුණයි. පෙර වතාවලදී මෙන් නොව රට විවෘත වීමේදී බොහෝ පිරිසක් මෙවර එන්නත්කරණයට ලක් වී ඇත. එය මේ මොහොත වන විටත් සියයට පනස් දෙකටත් වඩා වැඩි අගයකි. මේ කාලය ඇතුළතදී ලක්ෂ 5කට වඩා වැඩි පිරිසකට රෝගය වැළඳී තිබුණද මේ වන විට ඔවුන්ද යම් ප්‍රතිශක්තිකරණයකට ලක් වී තිබේ. එන්නත ලබාගත්තද රෝගය වැළඳීමේ යම් ප්‍රවණතාවක් ඇති බවත්, දෙවැනි වරටද කොවිඩ් ආසාදනය වීමේ හැකියාවද පවතින බැවින් සෞඛ්‍ය පුරුදුවලට පෙර සේම අනුගත වීම වැදගත්   බව සෞඛ්‍ය අංශ දන්වා සිටී.

කොවිඩ් පාලනය සඳහා යෝග්‍ය හැසිරීම් ..

වයිරස ව්‍යාප්තිය අඩපණව පැවැතියද විවිධ ප්‍රභේද ඇති කරමින් අඛණ්ඩව පැතිරීම සිදුවන බැවින් වෙනස් කර ගත යුතු චර්යාවන් සහ අනුගත විය යුතු නව චර්යා රටා ඇත.

පුද්ගල දුරස්ථභාවය....

මේ පිළිබඳව කතා කරද්දී සෘනාත්මක අදහස් ඉස්මතු වන බැවින් ගැටලු පැන නැඟී ඇත. රටේ මිනිසුන්ගේ ස්වාභාවය සහ දරන ආකල්ප මත පුද්ගල දුරස්ථභාවය අමතක වීමේ දසුන් සුලබය. 

පෙරදී මීටරයක පරතරය තබා ගැනීම යෝග්‍ය යැයි පැවසුවද ඩෙල්ටා ව්‍යාප්තියද ඇති නිසා අවම වශයෙන් මීටර එකහමාරකවත් පරතරය තබා ගැනීම අවශ්‍ය කෙරේ. 

ස්වසන ආචාර විධි..

කැස්ස හෝ කිවිසුම් යාමෙදී කෙළ බිඳිති අවටට විසිර යෑම වැළැක්වෙන පරිදි අතේ ඇතුල් පැත්ත වැළමිට ආධාර කර ගත හැකියි. 

දෑත් පිරිසුදුව තබා ගන්න.
සබන් හෝ සේදුම්කාරක දියර වර්ග භාවිතයෙන් දෑත් නිතරම පිරිසුදු කර ගත යුතුය. බාහිර දෑ ස්පර්ශ කරමින් අපිරිසුදු දෑත්වලින් ඇස්, මුඛ ආවරණ ඇල්ලීමෙන් වළකින්න.

නිවැරැදිව මුව ආවරණ පළඳින්න.

අනෙකුත් රටවල් සේම මෙරටේද මුව ආවරණ පැළැඳීම ප්‍රශස්ත මට්ටමක තිබුණත් නිවැරැදියාකරව පැළැඳීම ගැන ගැටලු මතු වේ.

දින ගණනාවක් එකම මුව ආවරණය පැළැඳීම හෝ එය නියමිත සේදුම් වාර ගණන පන්නවා සෝදමින් භාවිත කිරීමද වැරදි පුරුද්දකි. 

වඩාත් සුදුසු මුව ආවරණ දෙකක් පැළැඳීමද?

මුහුණු ආවරණය (Face shield) දැමීමද? 

සර්ජිකල් මාස්ක් භාවිතයේදී එය මුහුණ හා ස්පර්ශ වීමේදී දෙපැත්තෙන් විවරව පවතී. එය ආවරණය වන පරිදි  විවර වැසෙන පරිදි උඩින් රෙදි මාස්ක් එක   හෝ Kn-95 මාස්ක්  යෙදිය හැකියි. තවද ඇස හා නාසය හරහා වයිරසය සම්⁣ප්‍රේශනය වීම වලක්වා ගැනීමට මුව ආවරණය සමඟ මුහුණු ආවරණයද යොදා ගත හැකියි. මුහුණු ආවරණය පමණක් පැළැඳීම වයිරස ව්‍යාප්තිය හමුවේ ප්‍රමාණවත් නොවේ.

ගමනාගමන ආරක්ෂණ පිළිවෙත්....

ගමනාගමනේදී අවදානම අවම වන පරිදි සංචරණය කරන්නේ කෙසේද? විය යුත්තේ අවදානම ගැන අවබෝධයෙන් ජනාකීර්ණ වීමට ඉඩ නොතැබීමයි. කල්ලි ගැසී පෙර විඳි අසීමාන්තික නිදහස මෙවරදී භුක්ති විඳීමට නොහැකි අතර තනි තනිව හෝ වාහනයක් ඇත්නම් එය යොදා ගත හැකිය.

පොදු ප්‍රවාහනවල ජනතාව වැඩි වශයෙන් ගමන් ගනිති. ඔබ දුම්රිය හෝ බස් රථය යොදා ගන්නා මඟියකු නම් ඒවායේ ජනෙල් විවෘත කර ගමන් ගත යුතුය. පොදු ප්‍රවාහන හා සම්බන්ධ සෞඛ්‍ය ආරක්ෂණ විධි විධාන අනුව අවම මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ හැකි අතර එක් අසුනක එක් මඟියකුට අසුන් ගත හැකි නම් අවදානම මධ්‍යස්ථ වේ. මේ දේවල් කොපමණ ප්‍රායෝගිකද යන්න අවිනිශ්චිත අතර වගකිව  යුතු පුරවැසියෙක්  ලෙස  සෙනඟ පිරුණු ප්‍රවාහන සේවාවලින් ඉවත් විය හැකියි.  

රැකියා ස්ථානයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ විධි.....

රැකියා ස්ථානය යනු විවිධ බුබුළුවලට අයත් පිරිස්වවල නියෝජනයකි. සේවක සංඛ්‍යාව අඩු වැඩි කිරීම මත සේවක එක්රැස් වීම් තීරණය වේ. තවමත් නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදය පවතින බැවින් ඊට සේවක අනුගත වීම වැදගත්වේ. රැකියා ස්ථානයේදීත් මුව ආවරණය නිසි පරිදි පැළැඳ සිටීම අත්‍යවශ්‍ය වන අතර මඳ වෙලාවකට හෝ එය අප අතරින් ගිලිහී යාම වයිරස ව්‍යාප්තියට ඉඩ ලබා දීමක් වනු ඇත. ආපනශාලාව තුළදිත් ,වොෂ්රූම් තුළත් මුව ආවරණ ගලවන පිරිස් වැඩි නම් වයිරස ව්‍යාප්තියට අපි සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත. අප නොදැනුම්වත් කමින් හෝ කරන වැරැදි පුරුදු නිසා ඩෙල්ටා වැනි ප්‍රභේදයකට ව්‍යාප්තිය තවත් පහසු වනු ඇති. 

රැකියා ස්ථානයේ පොදු තැන්වලට බොහෝ පිරිසක් එකවර රැස් නොවිය යුතුය. ආහාර විවේකයේදී ආපනශාලාවට බොහෝ පිරිසක් එකතු වන්නේ නම් මේ මොහොත වනවිට මුව ආවරණද නොමැතිව පරතරය තබා ගැනීමටද අවකාස නොලැබෙනු ඇත. ආහාර විවේකයෙදී තමා අසුන් ගන්නා ස්ථානයේ සිටම ආහාර ගැනීම මේ වනවිට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කොට ඇත. ඒ කොවිඩ් අවදානම පහව යනු පිණිසය.

එමෙන්ම රැකියා ස්ථානයද වාතාශ්‍රය මනාව ලැබෙන සංවෘත ස්ථානයක් නොවිය යුතුයි. වායු සමීකරණ පහසුකමින් ඉවත්ව ජනෙල්, වා කවුළු ඉවත් කර තැබිය යුතුය. පැයකට වරක් හෝ පැය භාගයෙන් භාගයට හෝ දොර විවෘත කර වසා දැමීම කළ යුතුයි. 
එසේම සේවක පැමිණීම සටහන් කරන ඇඟිලි සලකුණු තබන යන්ත්‍ර අසල විසබීජ නාශක දියර පහසුකම් තැබීම ආදි ආරක්ෂණ උපාය මාර්ග මගින් රැකියා පරිශ්‍රය තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීම වලක්වා ගත හැකියි.

භාණ්ඩ මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු...

වෙළෙඳසැලක් වෙත ගෙස් අවදානම මධ්‍යයේ භාණ්ඩ මිලට ගන්නවාට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ ඔබට මාර්ග ගත පහසුකම ඔස්සේ නිවෙසටම ගෙන්වා ගත හැකිය. එම පහසුකම නොමැති පිරිස් පහත උපදෙස් පිළිපදින්න.

*   සෙනඟ වැඩි, ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවන, සංවෘත අවකාසවලින් ඉවත් වන්න. 

*  වෙළෙඳසැලට ඇතුළු වීමේදී සේම භාණ්ඩ මිලදී ගෙන පිටව යාමේදීත් දෑත් පිරිසුදු කර ගැනීමට අමතක නොකරන්න. 

*   සෙනඟ රැස් වෙන වෙලාව මඟ හැර යා හැකියි.

*   අත්‍යවශ්‍ය ඖෂධ වර්ගද තැපැල්මාර්ගිකව  ලබා ගත හැකි බැවින් එම සේවාවන් අත්විඳින්න. 

*   පුද්ගලයන් සමඟව සමීපව මුහුණට මුහුණලා කරන ගනුදෙනු අවම කර ගන්න.

ක්‍රීඩා කටයුතුවලටත් සෞඛ්‍ය පුරුදු අදාලයි.....

 සියලුම ක්‍රීඩා කටයුතු නතරව ඇති සමයක පුද්ගල ශාරීරික සහ මානසික සෞඛ්‍යය නඟා සිටුවීම සඳහා යම් යම් ක්‍රීඩා ඉසව් නැවත පණ ගැන්විය හැකිය. ඒ අනුව තනි පුද්ගල ක්‍රීඩා, පුද්ගල දුරස්ථභාවය රැකෙන ක්‍රීඩා ආරම්භ කළ හැකියි.  ජිම්නාස්ටික්, ටෙනිස්, බර ඉසිලීම් ,බැඩ්මින්ටන් වැනි ඉසව් සුදුසුය. පුදුගලයන් අතර සමීපතාව රඳන ක්‍රිකට්, අත් පන්දු වැනි  ක්‍රීඩා ඇරැඹීම මුළුමනින්ම නතර කර දමනවාට වඩා අවදානම තේරුම් ගෙන ක්‍රීඩා කළ හැකියි. 

පුද්ගල ඒකරාශි වීම් වැඩි වනවිට පුද්ගල චර්යාවන් වෙනස් වීම තුළ වයිරසයට පැතිරීම පහසු වේ. මේ හේතුව නිසාම පසුගිය වසරේ සිටම වරින් වර කිහිප වතාවක්ම රට හුදෙකලා කිරීමට සිදු විණි. එමඟින් ජන ජීවිතයට එල්ල වූ පීඩනය කෙතරම්ද? එබැවින් මෙවරත් රට විවෘත වීමත්  සමඟ නැවතත් ආපස්සට ගමන් නොකර අවදානමට මුහුණ දිය හැකි පරිදි පුද්ගල චර්යා වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

 -සටහන- මාධවී ධර්මරත්න