
(අංජුල මහික වීරරත්න)
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.
වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර වන අලි ගම් වැදීමෙන් දේපළ සහ වගා හානි වූ පවුල් වල දරුවන්ටද මීට අයැදුම් කළ හැකිය.
ආධාර ලැබීමට සුදුසු පවුලක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා අනුමත කර තිබිය යුතු යැයිද 1ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට සුදුසුකමක් ලෙස සැලකෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
2025-01-01 දින හෝ එම දිනෙන් පසු දිනකදී වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතු අතර දැනටමත් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවකු නොවීමද මෙම ආධාරය ලබාදීමට සුදුසුකමක් බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම වැඩසටහන මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද ආදී වශයෙන් 2025 අප්‍රේල් 1 වැනි දා සිට මෙම මූල්‍යාධාරය ලබා දීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම් සපුරාලන පවුල්වල දරුවන්ගේ විස්තර ලබා ගෙන සිය පෞද්ගලික අධීක්ෂණය යටතේ, නිර්දේශයද සහිතව අදාල අයැදුම්පත් ජනාධිපති අරමුදලේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස සියලුම ප්‍රදේශීය ලේකම්වරුන් දැනුම්වත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර මුදලක් ගියත් කරන්න ඕනෑ දෙයක් තමයි අලි කැලෑ වලට පන්නලා (විල්පත්තුව, යාල......) ඒවගේ අලි එන තැන් වලට අලි වැට ගහන එක. එතකොට අලින්ට ගමට එන්න බැහැ. දැන් කරනෙ අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක්.
වල් අලි උවදුරින් පීඩා විඳින මේ අහිංසක මිනිසුන්ට පිහිට වීම ඉතා හොඳ දෙයක්.