(අංජුල මහික වීරරත්න)

 දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 50000 දීමනාව මේ වන විට 70%කට ගෙවා අවසන් කර තිබේ.

දිස්ත්‍රික්ක 25හි පවුල් 156805ක පිරිසක් මෙම දීමනාව  සඳහා සුදුසුකම් ලබා තිබු අතර එයින් පවුල් 109512කට මේ වන විට එය ගෙවා අවසන් කර ඇත.

නුවරඑළිය පවුල් 1191ක් මෙම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබු අතර එම සියලු පවුල් වෙත දීමනාව ලබා දී අවසන් කර තිබේ. 

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 1253න් පවුල් 1143කට දීමනාව ලබා දී ඇති අතර එහි ප්‍රගතිය 91%කි. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 8409න් පවුල්  7083කට දීමනාව ලබා දී ඇත. එහි ප්‍රගතිය 84%කි. 

ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, වවුනියාව, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල රුපියල් 50000 දීමනාව  දීමට ගණනය කළ සියලු පවුල් වෙත එම දීමනාව ලබා දී අවසන් කර තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ රුපියල් 50000 දීමනාව ලබා දීමේ ප්‍රගතිය 98%කි. මුලතිව් දිස්ත්‍රික්කයේ 99%කට ලබා දී අවසන් කර ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 91%කටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 91%කටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ 84%කට සහ කෑගල්ල දිස්‍ත්‍රික්කයේ 93%කට දීමනාව ලබාදී අවසන් කර තිබේ. 

එමෙන්ම ආපදාවෙන් පසු නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් දෙන රුපියල් 25000ක දීමනාව ගෙවා අවසන් කිරීමේ සමස්ථ ප්‍රගතිය 97%කි.

දිස්ත්‍රික්ක 25හි පවුල් 435104ක් මෙම දීමනාව ලබා ගැනීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබු අතර එයින් පවුල් 422900කට මේ වන විට දීමනාව ලබා දීම අවසන් කර ඇත.

ඒ අනුව කලුතර, නුවරඑළිය, ගාල්ල, හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල සුදුසුකම් ලැබූ සියලු පවුල් වෙත එම දීමනාව සම්පුර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.