කොවිඩ් 19 ආසාදිත හෝ රෝග ලක්ෂණ ඇති බවට සැක සහිත දරුවන් ආරක්ෂා කිරීම පිණිසත් දරුවන් කොවිඩ් 19 රෝගයට නිරාවරණය වීම වැළැක්වීම පිණිසත් ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගේ අදස .

අවදානම

ළමයින් සම්බන්ධයෙන් තියෙන්නෙත් අවදානම් තත්ත්වයක් තමයි. ඒ නිසා අපි ළමයි ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ළමයින්ට මේ වයිරසය ආසාදනය වුණොත් අතුරු ආබාධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ලංකාව කියන්නෙ සෞඛ්‍ය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක්. විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු ළමා මරණ අඩුවෙන් වාර්තා වෙන රටක්. ළමා සෞඛ්‍ය අතින් අපේ රට ඉතා දියුණු තත්ත්වයක සිටින බවට ලෝකයේ දියුණු රටවල් පවා පිළිගන්නවා. නමුත් අපේ රටෙත් කොවිඩ් 19 ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළ ගියොත් ඒ වගේම ළමා මරණ වැඩි වුණොත් ඒක එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි.

වයස් කාණ්ඩය

ගර්භණී මව්වරුන්ටත් මේ වයිරසය වැලඳෙන්න පුළුවන් නම් ඕනම වයස් කාණ්ඩයක ළමයින්ට කොවිඩ් 19 ආසාදනය වෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නෙ ඉපදුණු දවසෙ පටන් ඕනම වයසක ළමයෙක්ට මේ වයිරසය ආසාදනය වෙන්න පුළුවන්. ළමයෙක් ඉපදුණු දවසෙ ඉඳලා අවුරුදු දාහතර සම්පූර්ණ වෙනකන් වැලඳෙන ලෙඩ රිජ්වේ ආර්යා ළමා රෝහල තමයි ප්‍රතිකාර කරන්නෙ. මේ වයිරස් එක ඕන කෙනෙක්ට හැදෙන්න ඉඩ තියෙනවා.

වයිරසය කුසේ සිටින දරුවටත් ?

ගර්භණී අවස්ථාවෙදිත් දරුවා ප්‍රසූත කරන අවස්ථාවෙදිත් මේ වයිරසය දරුවෙකුට ආසාදනය වෙන්න පුළුවන්. මේක වයිරසයක් නිසා මිනිස් ශරීරයක රුධිරයට ඇතුළු වූ පසුව එය ශරීරයේ ඕනෑම තැනකට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. දරුවෙක් ඉපදුණු පසුවත් මේ රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා.

රෝග ලක්ෂණ

වාසනාවකට වගේ මේ රෝගය ළමයින්ට වැලඳෙන්නෙ සහ රෝගලක්ෂණ පෙන්වන්නෙ තවම අඩු මට්ටමක. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කළ හුඟක් ළමයින්ගෙ වාර්තා නෙගටිව්. අපි ළමයින්ට කරන්නෙ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය විතරයි. සැක හිතුණොත් විතරක් පීසීආර් පරීක්ෂණ කරනවා. නමුත් රෝගලක්ෂණ නැතිව වුණත් ළමයින්ගෙන් මේ රෝගය පෙන්නුම් කරන්න පුළුවන්. ආසාදිත ළමයින්ගෙන් දැකිය හැකි රෝග ලක්ෂණ අතර උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව බඩඑළිය යාම පාචනය ඇඟපතේ අමාරුව වැනි ඒවා තියෙන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ළමයින්ට මේ රෝග ලක්ෂණ තිබුණත් ඒවා ගැන කියන්න තරම් අවබෝධයක් නැති එක. මේ නිසා වෛද්‍යවරුන්ට ළමයින්ගෙ රෝගවල ඉතිහාසය පිළිබඳ තොරතුරු ගන්න අමාරුයි. ගොඩක් මවුපියන් තමන්ගෙ ළමයව වෛද්‍යවරයෙක් ළඟට ගෙනෙද්දි ළමයගෙ රෝග ඉතිහාසය සඟවනවා.ඒක කරන්න එපා.

වයස අවුරුදු 2 ට වැඩි නම් මුඛ ආවරණ

ඒ වගේම වයිරසය ආසාදිත දරුවන්ට කොවිඩ් නිව්මෝනියා තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවා නම් අපි කල්පනාකාරී විය යුතුයි. අපි උපදෙස් දෙන්නෙ අවුරුදු දෙකෙන් ඉහළ දරුවන්ටත් පුළුවන් නම් මුඛ ආවරණ පලඳවන්න කියලා.

අතුරු ආබාධ ආසාත්මිකතා

හෘදය වස්තුව ආශ්‍රිතව බරපතළ රෝග තියෙන ළමයින්ට පෙනහලුවල දීර්ඝ කාලීන ආබාධ තියෙන ළමයින්ට ප්‍රතිශක්තීකරණය අඩු ළමයින්ට පිළිකා රෝගී ළමයින්ට දියවැඩියාව තියෙන ළමයින්ට රෝගය වැලඳීමේ ඉඩ වැඩියි වගේම ආසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන්. මොකද ඒ වගේ නිදන්ගත රෝග තියෙන ළමයින්ගෙ ප්‍රතිශක්තීකරණය අඩුයි. විශේෂයෙන්ම මෙවැනි රෝග තත්ත්වයන් තියෙන ළමයින් නිවෙස්වල ඉන්නවා නම් මවුපියන් ගෙවල්වලට වයිරසය නොගෙන යන්න පරිස්සම් වෙන්න ඕන. අපි තමයි ගෙදරට මේ වයිරසය ගෙනියන්නෙ කියලා නිතරම මවුපියන් හිතන්න ඕන.

ප්‍රතිශක්තිය වඩන ආහාර

පලා වර්ග වට්ටක්කා වැනි කහ පැහැති එළවළු වර්ග බිත්තර වගේ දේවල් දරුවන්ගෙ කෑම වේලට එක්කරන්න පුළුවන් නම් ඉතාම වැදගත්. ප්‍රධාන පෝෂක වගේම යකඩ හා විටමින් ඇතුළත් ක්ෂුද්‍ර පෝෂක ආහාරත් දරුවන්ට දිය යුතුයි. සොසේජස් වගේ කෘත්‍රීම ආහාර දරුවන්ට දෙන්න කියලා අපි යෝජනා කරන්නෙ නෑ. විටමින් වර්ග තියෙන ස්වාභාවික ආහාර වර්ග දෙන්න පුළුවන් නම් ඉතාම වැදගත්. විශේෂයෙන්ම කහ පැහැති එළවළු වර්ග මුරුංගා ගොටුකොළ වගේ පලා වර්ගත් ඉතාම හොඳයි. පෝෂ්‍යදායී ආහාර මගින් දරුවන්ගේ ප්‍රතිශක්තීකරණය වැඩි කරන්න පුළුවන්. දරුවන්ට උණ රෝගී තත්ත්වයන් තියෙනවා නම් වැඩිපුර පෝෂණය ලබා දිය යුතුයි. ස්වාභාවික දියර ආහාරත් දරුවන්ට ලබා දෙන්න.

හිරු එළිය මිතුරෙක්

ඒ වගේම තමයි දරුවන් හිරු එළියට නිරාවරණය කිරීමත් ඉතාම වැදගත්. හිරු එළිය නොවැටෙන කාමරවලටම ළමයි කොටු කරලා තියෙන එක මානසිකවත් ශාරීරිකවත් හොඳ නෑ. හිරු එළියෙන් ස්වාභාවිකවම ප්‍රතිශක්තීකරණය ලැබෙනවා.

විටමින් සී

විටමින් සී කොවිඩ් 19 රෝගයට හොඳ ප්‍රතිකාරයක් කියලා කොහෙවත් ඔප්පු කරලා නෑ. හැම විටමින් එකක්ම ශරීරයට හොඳ නිසා විටමින් තියෙන ආහාර ලබා දෙන එක තමයි ඉතා වැදගත්. විටමින් සී ජලයෙ දිය වෙලා මුත්‍රා සමග පිටවෙනවා. ඒක දුන්නට කමක් නෑ.

එන්නත දරුවන්ට සුදුසුද?

වයස අවුරුදු දොළහෙන් ඉහළ ළමයින්ටත් මේ එන්නත ලබා දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. දැනට සමහර රටවල අවුරුදු දොළහෙන් ඉහළ ළමයින්ට ෆයිසර් එන්නතත් දාසයෙන් ඉහළ වයස් කාණ්ඩවල ළමයන්ට සයිනෝෆාම් එන්නතත් ලබා දෙනවා. ළමයින්ට මේ එන්නත් ලබාදීමේ හැකියාව පිළිබඳව අමෙරිකාව වගේ රටවල මේ වෙන කොටත් සායනික පරීක්ෂණ කරගෙන යනවා. අපේ රටේ ළමයින්ටත් එන්නත ලබා දුන්නොත් පාසල් පද්ධතිය විවෘත කිරීමටත් එය පහසුවක් වෙයි. පාසල් වහන්න කියලා රජයට යෝජනා කරන්නෙත් අපිම තමයි. මොකද පාසල් විවෘත කළොත් මේ රෝගය ළමයින් අතර ශ්‍රීඝ්‍රයෙන් බෝවිය හැකි නිසා.

රෝග ලක්ෂණ ඇති දරුවන් ගෙදරද? රෝහලටද?

රෝග ලක්ෂණ තියෙන දරුවන්ව රෝහල වෙත ගෙන යන එක තමයි වැදගත්. තවමත් අපි ළමයින්ව රෝහල්වල බලා ගන්නවා. කොවිඩ් 19 ආසාදිත ළමයින්ට ලංකාව පුරාම තියෙන රෝහල්වල ප්‍රතිකාර කරනවා. විවිධ අතුරු ආබාධ එන්න පුළුවන් නිසා මම යෝජනා කරන්නෙ දරුවෙකුට රෝගය වැලඳුණොත් හරි රෝග ලක්ෂණ තියෙන බවට සැක නම් රෝහලක් වෙත ගෙන යන එක තමයි වැදගත්.

සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ