හිසේ ඇතිවන ගැටලු අතරින් ඉස්හොරි ප්‍රධාන වේ. ඉස්හොරි බොහෝ දෙනකුට කරදරයක් සේම මානසික වදයකි. ඉස්හොරිවලින් ඔලුව නිදහස් කර ගැනීම හෝ ඉස්හොරි කරදරෙන් බේරීමට කවුරුත් කැමැතියි. එදිනෙදා ව්‍යවහාරයේදී ඉස්හොරි යනුවෙන් කියැවුණද ඇත්තටම මෙය රෝගයක් නොව කිසියම් රෝගයක ලක්ෂණයක් බව ඔබ දැන සිටියාද?

හිස්කබල ආශ්‍රිත සමෙහි වියළි භාවයේ සිට නොයෙක් චර්ම රෝග තත්ත්ව දක්වා පරාසයක් ඉස්හොරි නම් පොදු යෙදුම යටතේ කාණ්ඩ ගත කළ හැකිය. සමෙහි අපිචර්මයේ සෛල දින 28කට වරක් අලුත් වේ. එහිදී සම මතුපිට ස්ථරයේ ඇති සෛල ඉවත් වී ගිය පසු අපිචර්මයේ පහළ ස්ථරයේ ඇති සෛල මතුපිටට පැමිණේ. මෙය සාමාන්‍ය ස්වාභාවය වන අතර සෛල දිගින් දිගටම වර්ධනය වේ. මෙයාකාරයෙන් සෛල ගැලවී යාම පියවි ඇසට නොපෙනේ. ඒත් සමහර හේතු සාධකවල බලපෑම මත සාමාන්‍යයෙන් සිදුවන සෛලවල ඉවත් වීම අක්‍රමවත් කෙරේ. එනම් ඉතා දැඩි උෂ්ණත්වය, අධික හිරු එළියට හිස නිරාවරණය වීම, දින ගණනාවක් ස්නානය නොකිරීම, දෛනිකව පානය කරන ජල පරිමාව අඩු වීම, එකවර වැඩි වේලාවක් හිස සේදීම වැනි කාරණාවල බලපෑම මත සෛල ඉවත් වීම අක්‍රමවත් වේ. සෛල ගැලවී යාමේ වේගයද වැඩි කරයි. මේ සෑම විටෙකම සම යටින් වැඩිපුර සෛල නිපදවෙන අතර එවිට සෛල පොකුරු පිටින් ගැලවී යාම සිදු වේ.

මෙසේ පොකුරු ආකාරයෙන් ඉවත් වී යන සෛල ඉස්හොරි මෙන් අලු පැහැති කුඩු වැනි ද්‍රව්‍යයක් ලෙස හිස මතුපිට දැකීමට පුළුවනි. ඉස්හොරි තත්ත්වය ඕනෑම වයස් කාණ්ඩයක පසුවන්නන් අතර දැකිය හැකි අතර ස්ත්‍රී , පුරුෂ භේදයක් නැතිව හට ගත හැති තත්ත්වයකි.

ඉහත දැක්වූ කාරණා මත වියළි හිස්කබල හේතුවෙන් ඇති වන ඉස්හොරි තත්ත්වයට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ' Malassezia ' නම් Yeast කාණ්ඩයේ දිලීරයක් ස්වේද ග්‍රන්ථි බහුලව පවතින හිස්කබල සහිත සමෙහි ක්‍රියාකාරීත්වය නිසාද ඉස්හොරි මතුවීම සිදු විය හැකියි.

චර්ම රෝග වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය ‘Seaborrhoeic Dermatitis ‘ නමින් හඳුන්වයි. දින 28කට වරක් අපිචර්මයෙන් ගැලවී යන සම් කැබැලිවලට වඩා මේ තත්ත්වයේදී ඉවත් වන සම ඝනකම් බවින් යුතුය. ඒවා තෙල් සහිත අළු පැහැයට හුරු පෙනුමින් යුතුවේ. ඉස්හොරි තත්ත්වයට අමතරව හිසෙහි කැසීම් ගතියක්ද ඇති වේ. තවද හිස්කබලේ තැනින් තැන රතු පැහැති ස්වාභාව දැකිය හැකි වීමද විශේෂ ලක්ෂණ වේ.

මෙම තත්ත්වය සමහරකුට හිස්කබලට පමණක් සීමා වුවද ඇතමකුට රෝම කූප වැඩිපුර ඇති ඇහි බැම, නාසය දෙපැත්ත, පුරුෂ පක්ෂයේ නම් පපුවේ ඉදිරිපස රෝමකූප ආශ්‍රිතව හට ගැනේ. මෙහිදීද ඉස්හොරි හට ගත් පසු කැසීමේ ගතිය, රතු පැහැති වීම, සුදු පැහැ කුඩු වශයෙන් දිස් විය හැකියි.

තවද පොතු කබර රෝගය හිස් කබලට පමණක් සීමාවූ රෝගීන් අතරද ඉස්හොරි මෙන් සුදු පැහැ කුඩු ලෙස සම ගැලවී යාම සිදු විය හැකියි. පොතු කබර රෝගය ඇඟෙහි මෙන්ම හිස්කබල පුරාවටද වැළඳිය හැකි රෝගී තත්ත්වයකි. පොතු කබර රෝගය වැළඳී ඇති කෙනකුගේ ඉස්හොරි මතුවද්දී ඒවා ඉතා ඝනකම් මෙන්ම රිදී පැහැයක් ගනී.

හිස්කබලෙන් ඔබ්බට නළල දෙසට , බෙල්ල පිටුපස, කන් දෙක පිටුපස ආදී ප්‍රදේශවල පොතුකබර ආශ්‍රිත ඉස්හොරි ස්වාභාවය පැතිරී යාමට පුළුවනි.

ඊට අමතරය වැලමිට,දණහිස් , තුනටිය ආශ්‍රිත ප්‍රදේශවලද රෝස පැහැති පොතු ගැලවෙන පැල්ලම් දැකිය හැකියි.

එසේම හිස්කබල ආශ්‍රිතව ඇති වන දිලීර ආසාදන හේතුවෙන්ද ඉස්හොරි තත්ත්ව ඇති විය හැකියි. හිස්කබලේ අපිචර්මීය සෛලවලට බලපාන ආසාදන නිසා ඇති වන්නාවූ තත්ත්වය ‘Tinea Capitis ‘ලෙස නම් කෙරේ. විශේෂයෙන් පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර දැකිය හැකි තත්ත්වයකි. මේ තත්ත්වයේ ඉස්හොරිවලට ගොදුරු වූවකුගේ හිස කෙස් පවා ගැලවී යා හැකියි.

නිවෙස්වල සුරතලයට ඇති කරන බල්ලන් සහ බළලුන් වැනි සතුන් නිසා කුඩා දරුවන්ගේ හිසෙහි දිලීර ආසාදන ඇති විය හැකි බැවින් මෙකී කරුණ ගැන මවුපියන්ගේ අවධානය මෙන්ම සැලකිලිමත්භාවයද ඉතා වැදගත් වේ.

මේ කුමන තත්ත්වය මත හෝ ඇති වන ඉස්හොරිවල ස්වාභාවය පරීක්ෂා කර බලා ප්‍රතිකාර ඇවැසි නම් පමණක් නිර්දේශ කෙරේ. සාමාන්‍යයෙන් වියළි හිස්කබල නිසා මතුවන ඉස්හොරිද නොඑසේ නම් ඉහත කාරණාවල බලපෑම මත ඇති වූ තත්ත්වයක්ද යන්න තහවුරු කළ හැක්කේ පළපුරුදු චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පමණි.

‘Tinea Capitis ‘ තත්ත්වය හේතුවෙන් ඇතිවන ඉස්හොරි හැරුණු කොට අනෙක් තත්ත්ව කෙනකුගෙන් කෙනකුට බෝ වීමක් සිදු නොවේ. ‘Tinea Capitis ‘ යනු දිලීර ආසාදනයක් බැවින් මේ හේතුවෙන් නිවසේ සාමාජිකයකුට ඉස්හොරි ඇත්නම් එකම නිවසේ පසුවන අනෙක් සාමාජිකයන් අතරද පැතිරී යාමේ අවදානමක් පවතී.

ඉස්හොරි ඇති වීම කෙරෙහි අධික සීතල මෙන්ම උෂ්ණාධික බවද හේතු වේ. මේ හේතු මත ඉස්හොරි ඇති වීම අඩු වැඩි වීම තීරණය කෙරේ. එබැවින් අධික හිරු රශ්මියට නිරාවරණය වීමේදී ඔබගේ හිස ආරක්ෂා වන පරිදි කුඩයක්, හිස් වැසුමක් භාවිත කිරීමට මතක තබා ගන්න. සම වියැළීමට ඉඩ නොදී සමෙහි තෙතමනය රැක ගැනීමට කටයුතු කරන්න. ඒ උදෙසා දිනකට ප්‍රමාණවත් පරිදි හොඳින් පිරිසුදු ජලය පානය කිරීම සුදුසු වේ. සමට ආරක්ෂාව ලැබෙන සම අභ්‍යන්තරයට පෝෂණය ලැබෙන පරිදි මනා ආහාර වේලක් ලබා ගන්න. ඒ සඳහා නැවුම් එළවළු, පලතුරු එකතු කර ගන්න. දිනපතාම නැතත් දිනක් හැර හෝ දිනක් ස්නානය කරන්න. මෙම සෞඛ්‍ය පුරුදු ඔබගේ දෛනික චර්යාවේම කොටසක් කර ගන්න.

ස්නානය කිරීමේදී ඔබ භාවිත කරන ෂැම්පු වර්ගය සැර අවම වන පරිදි තෝරා ගැනීම වැදගත් වේ. හිසකෙස් සඳහා රසායනික සංඝටක අධික වූ විට හිස්කබල අධිකව වියැළීමට පටන් ගැනේ. ඒවගේම පනාව යොදා ගෙන තදින් හිසකෙස් පීරීමේදී උඩු හම ගැලවී යයි. තදට කැසීම නිසා හිස්කබලේ තුවාල ඇති වී බැක්ටීරියා ආසාදන, සැරව ගෙඩි මතුවිය හැකියි.

දිලීර නාශක අඩංගු ෂැම්පු භාවිතය මගින් ඉස්හොරි තත්ත්වය පාලනය කර ගත හැකි වනු ඇත.

මෙමගිනුත් ඉස්හොරි තත්ත්වයේ පාලනයක් නැත්නම්‍ එය තවදුරටත් පැතිරේ යැයි ඔබ සිතනවානම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත්වේ. එහිදී ඔබට ඇත්තේ කුමන ඉස්හොරි තත්ත්වයද යන්න තහවුරු කර ගත හැකි අතරම නිවැරැදි ප්‍රතිකාර කරාද යොමු විය හැකිවේ.

-සටහන- මාධවී ධර්මරත්න