සහල් මිල ක්‍රමිකව වැඩි වෙද්දී ඇතැම් සහල් වර්ගවල මිල ඊට සාපේක්ෂව වැඩි වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මේ අතරේ ශ්‍රමයට සරිලන මිලක් ලැබෙන අයුරින් මේ ගනුදෙනුව බේරාගැනීමේ දුෂ්කරතාවකට තමන් පත්ව ඇතැයි ගොවීන් පවසන්නේ ද කලක් තිස්සේය.

මෙවැනි ප්‍රශ්න ලංකාවට පමණක් අනන්‍ය නැත. දියුණු වෙමින් පවතින රටවල් රැසක තත්ත්වය මීට සමානය. එහෙත් එසේය කියා ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකිරීමට අපට නොහැකිය. විසඳුමක් සඳහා කවර මිල සූත්‍රයක් යොදා ගත යුතුදැයි කියා විමසීම එහිදී අත්‍යවශ්‍යය. තවත් සරලව කිවහොත් වඩා සාධාරණ වන්නේ ගොවීන්ගෙන් කවර මිලකට වී මිලට ගෙන පාරිභෝගිකයන්ට කවර මිලකට සහල් අලෙවියෙන්ද කියා කරුණු සෙවිය යුතුය.

නිවැරැදි මිල යනු කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් ද කරදර වී විවිධ පියවර ගනු අපි දකිමු. ඇතැම් වේලාවට ගොවීන්ට සාධාරණයක් කිරීමටය. එහිදී වෙළෙඳපොළට වඩා වැඩි මිලක් ගෙවා වී මිලදී ගැනීමට රාජ්‍ය මැදිහත්වීම් වේ. ඒ අතරේම සහතික මිලක් නියම කර ඊට වැඩි මිලකට අලෙවි කරන වෙළෙඳුන්ට නීතියෙන් ක්‍රියා කරන ආකාර ද වේ. මේ අයුරින් වරෙක ගොවියා ආරක්ෂා කිරීමටත් වරෙක පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටත් විවිධ අයුරින් රාජ්‍ය මැදිහත් වන අයුරු දකින්නට ලැබේ.

ක්‍රියාමාර්ග වශයෙන් මේ මාර්ග දෙක දෙපසට දෝලනය වන නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ දෝලනය නතර විය යුත්තේ කොතැනද කියාය. ආර්ථික විද්‍යාඥයන් අසන පැනය වන්නේ රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යමද යන්නයි. නොඑසේව මිල තීරණය වෙළෙඳපොළට ඉඩදිය නොහැකි මන්ද කියාය. තවත් පැහැදිලි කළහොත් පාරිභෝගික ඉල්ලුමට ගොවීන්ගෙන් ලැබෙන සැපයුම අනුව වන මිල තීරණයට සතුටු විය නොහැක්කේ ඇයිද කියාය. ඊට ඇති ප්‍රධාන තර්කය නම් වෙළෙඳපොළෙහි සිටින ඇතැම් අතරමැදියන්ගේ ක්‍රියාකාරීත්වය හෙවත් ගොවීන්ට අඩු මුදලක් ලැබී පාරිභෝගිකයන්ට වැඩි මිලකට සහල් මිලදී ගැනීමට සිදුවීමයි. ප්‍රශ්නය තිබෙන්නේ මේ කියන රාජ්‍ය මැදිහත්වීම කළ යුතු ආකාරය සම්බන්ධයෙනි. එනම්, එය මිල පාලනය සඳහා විය යුත්තක් ද නැත්නම් ඊට වෙනත් මාර්ගයක් ගත යුතුද යන්නයි.

රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යය. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර් යේෂකයන් ලවා නව ගුණාත්මක බීජ නිෂ්පාදනයක් සඳහා රජය මැදිහත් විය යුතුය. ඒවා ගොවීන්ට බෙදා දීමට රජය මැදිහත් විය යුතුය. ඉඩම් අයිතිය සාධාරණව තහවුරු කිරීමට අනිවාර්යයෙන්ම රජය මැදිහත් විය යුතුය. ගොවීන්ට අවශ්‍ය මිල ගණන් ගැන තොරතුරු සැපයීමට අව්ව, වැස්ස, නියං, ගංවතුර ආදී ස්වාභාවික තත්ත්ව ගැන දැනුවත් කිරීමට රජය මැදිහත් විය යුතුය.

මේ අතරේ ඉතා වැදගත්ම තවත් දෙයක් වේ. එනම්, වෙළෙඳපොළ තරගකාරීත්වය දියුණු කිරීමයි. වී වෙළෙඳපොළ  මුදලාලිකරණය වී ඇති බව බැලූ බැල්මටම පෙනී යන්නේ නම් ඒ ඒකාධිකාරිය කඩා බිඳ දැමීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යය. ඇතැම් රටවලදී සමාගම්වලට ප්‍රසාරණය වීමට පවා සීමා පනවා තිබේ. අරමුණ නම් ඒකාධිකාරීන් බිහිවීම වැළැක්වීමය.

එසේ එක් සමාගමක් තනි ඒකාධිකාරියක් නිර්මාණය කරගැනීම යනුම වෙළෙඳපොළ විකෘතීන්ට හා සෙසු වෙළෙඳුන් පීඩනයට පත් කරන මං තැනීමකි. නව නිෂ්පාදකයන්ට සහන මිලට ණය සපයමින් අලුත් නිෂ්පාදන සඳහා තරගය ඇති කිරීම ද ඇතැම් ආණ්ඩු විසින් සිදුකරනු ලැබේ.

ලංකාවේදී සිදුව තිබෙන්නේ රාජ්‍ය මැදිහත්වීමේ වපසරියෙන් එපිට අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලට යොමුවීමය. ඊට ආසන්නතම හොඳම නිදසුන නම් පොහොර පිළිබඳ ප්‍රශ්නයයි. 1962 සිට 2020 දක්වාම ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ රසායනික පොහොරවලට විශේෂ සහනාධාරයක් දීමය. ආරම්භක කාල පරිච්ඡේදයට අදාළව ගත්තොත් එය රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය යුගයකි. 60 දශකය වනවිට දේශීය ගොවීන්ට රසායනික පොහොර ගැන සංයුක්ත දැනුමක් තිබුණේ නැත. ඔවුන් පාවිච්චි කළේ ද සරල වී ප්‍රබේදය.

එනිසා පොහොරවලට සංවේදී වී ප්‍රබේද ලැබුණු විටක පොහොර සහනාධාරයක් දීම සාධාරණය. එහෙත් එහි අත්‍යවශ්‍ය කාල සීමාව ද ඉක්මවා ආණ්ඩු විසින් මේ පොහොර සහනාධාරය අනවශ්‍ය ලෙස ප්‍රදානය කරනු ලැබිණි. දශක හයක් තිස්සේ ඊට වැය කළ රාජ්‍ය ධනය අතිවිශාලය. ඉන්පසුව රජය කළේ කුමක්ද? එකවරම මුළුමනින්ම රසායනික පොහොර නැතිකර දැමීමය.

අනපේක්ෂිත මේ රාජ්‍ය තීන්දුව නිසා වූයේ ගොවීන්ට යුග ගණනක් ආපස්සට ගොස් පැරැණි වී ප්‍රබේද වගා කර ගහකොලින් කඩාගන්නා දෙයක් හෝ කොම්පෝස්ට් යැයි විකුණන පොහොරක් යොදා වගා කිරීමටය. එහි ප්‍රතිඵලය වූයේ අසාර්ථක අස්වැන්නකි. පැහැදිලි ලෙසම ලංකාවේ රාජ්‍ය කෘෂිකර්මය සම්බන්ධයෙන් වූ මැදිහත්වීම්වල සිටින්නේ අන්තගාමීවය. මේ පියවර විද්‍යාත්මක පසුබිමක තැබිය හැකි නොවේ.

කෘෂිකර්මයට අදාළ ඉඩම් සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තිබෙන්නේ ද දැඩි දෙබිඩි ස්වරූපයකය. ඉඩම් අයිතිය ගොවියාට දුන්නොත් ඒ මිනිසුන් ඉඩම විකුණා ගමෙන් නගරයට සංක්‍රමණය වේද යන්න පක්ෂ භේදයකින් තොරව සෑම ආණ්ඩුවකටම තිබූ භීතියකි. සැබැවින්ම එවැනි විභවයක් තිබිය නොහැකිද? තිබිය හැකිය. ආණ්ඩුවකට කෘත්‍රිම ලෙස නාගරීකරණය වැළැක්විය නොහැකිය. කළ යුත්තේ එසේ අලුතින් එකතු වන ජනයා සඳහා නගරයේ සම්පත් හා අවස්ථා නිර්මාණය කිරීමයි.

මෙයින් පුද්ගල ඉඩම් ප්‍රසාරණයක් සිදුවන අතර කෘෂිකර්මයේ නියැළී සිටින ජනයාට කිසියම් මුදලක් උපයාගැනීමට ද හැකි වේ. දැන් මේ කෘත්‍රිම සිරකර ගැනීමෙන් වී තිබෙන්නේ විශාල පිරිසක් කුඩා කුඩා ඉඩම් කැබැලිවල වගා කිරීමය. එයින් ලැබෙන අස්වැන්නත් ප්‍රතිලාභත් සාපේක්ෂව අඩු අතර මේ නිසා ගොවීන් වැටී සිටින්නේ දුගීභාවයේ විෂම චක්‍රයකටය. කුඩා ගොවීන් ග්‍රාමීය කෘෂිකර්මයෙහි නිරතවීමට තවදුරටත් අකැමැති නම් ඔවුන් සෙක්කුවක බලෙන් ගැටගසාගෙන සිටීමෙන් පලක් නැත. ඒ මිනිසුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉන්පසු සිදුවන දේට පිළියම් යෙදීමය කළ යුත්තේ. ඇතැම්විට ඔවුන් යෝගට් කර්මාන්තයට යොමුවිය හැකිය. එය කෘෂිකර්මාන්තයට සබැඳි නමුත් ප්‍රවේශය සිදුවන්නේ කර්මාන්ත අංශයෙනි. එය ද යහපත්ය. අනෙක් අතට ගමේම රැඳී සිට ඒ මිනිසුන්ට කළ හැකි සේවා අංශයේ රැකියා ඕනෑ තරම් තිබේ. අද වනවිට ලංකාවේ ඇතැම් සේවා අංශ පවතින්නේ ශ්‍රමිකයන්ගේ හිඟයකින් පෙළෙමිනි. ආණ්ඩු කළ යුත්තේ මේ අඩුපාඩුවලට අදාළ දත්ත සොයා බලා ඒ හිඩැස් හඳුනාගෙන කෘෂිකර්මයෙන් විතැන් වන ජනයාට එම ශිල්පයන්හි නිපුණතාව දීමය.

චීනය, වියට්නාමය, බංග්ලාදේශය සිය සංවර්ධන අභියෝග ජයගත්තේ කෘෂිකර්මයේදී නොබියව ගත් තීන්දු නිසාය. එහෙත් ලංකාවේ තවමත් තිබෙන්නේ විද්‍යාව වෙනුවට සාහිත්‍යාලංකාරවලින් පෝෂණය වන කෘෂිකර්මයකි.

මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ස්වයංපෝෂිත ආර්ථිකය, ගොවියා ශක්තිමත් කිරීම වැනි දේශපාලන අලංකාර සමග ආණ්ඩුත් ගොවියාත් එකම මඩ ගොහොරුවක වැටීමය. එක් කලෙකදී වී අලෙවි මණ්ඩලය වසා දැමුවේ වී මිලදී ගැනීම් කරගැනීමට බැරිවය.

එහිදී වූ අක්‍රමිකතා ප්‍රමාණයෙන් අතිවිශාලය. ප්‍රශ්න වැඩි වනවිට නැවතත් කළේ වී අලෙවි මණ්ඩලය නැවත ප්‍රතිස්ථාපනයට යොමුවීමය. අභියෝගවලට විකල්ප විසඳුම් සෙවීම වෙනුවට ආදි කාලයට පිය නැගීම දේශපාලනිකව වඩා පහසුය.

ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රධානතම බාධකයක් වූයේ එයයි. වර්තමානයේ අර්බුදයකට තල්ලු වී සිටියත් ලංකාව යනු ඉතිහාසයේ එක් මොහොතකදී සැලකිය යුතු සංවර්ධන ඉලක්ක දිනාගත් රාජ්‍යයක්ව පැවැතිනි. අවාසනාව වූයේ සංවර්ධන සීමා ජය ගැනීමේදී විකල්ප විසඳුම් දීම වෙනුවට ඉතිහාසයට පා නැගීමය.

එයින් වූයේ කුඩා පරිමාණයේ ගොවීන් රැකගැනීමට යැයි කියා නූතනවාදී ගොවීන්ට නව ගමනක් යාමට තිබූ ඉඩ අහුරාදැමීමය. නිදසුනකට සහල්වලට උපරිම සිල්ලර මිලක් දීමට රාජ්‍ය මැදිහත්වීම ද එවැනිය.

 කෝටි දෙක ඉක්ම වූ ලංකාවේ ජනගහනයේ ඉහළ මුදලක් ගෙවා සහල් මිලදී ගත හැකි ආදායම් ලබන සැලකිය යුතු පිරිසක් වෙති. රාජ්‍යක් අවශ්‍ය වන්නේ එවැනි මිලදී ගැනීමකට අපහසු ජන කොටස හඳුනාගෙන ඔවුන්ට සහනශීලී පිළිවෙතක් සම්පාදනයටය. ඇතැම් රටවල් දැනටත් අනුගමනය කරන්නේ එවැනි පිළිවෙත්ය. නිදසුනකට ඉන්දියාව පහළ ජන තීරු වෙනුවෙන් මහජන බෙදාහැරීම් ක්‍රමයක් සකසා ඇති අතර ඉහළ මධ්‍යම පාංතිකයෝ ඒවාට යොමු නොවෙති. එසේ කළ විට වෙළෙඳපොළෙන් අර්බුදවලට විසඳුම් සෙවීමට රාජ්‍ය පහසුකාරකයකි. දැන් ලංකාවේ සිදුවන්නේ පාරිභෝගිකයන්ට ද අනවශ්‍ය ලෙස සහන දෙන්නට ගොස් එසේ වෙළෙඳපොළින් විසඳුම් නිර්මාණයට රාජ්‍ය බාධකයක් වීමය.

ස්වයංපෝෂිත වී සිටි අතීත ශ්‍රී විභූතියක් වර නැගීම ලංකාවේ සාහිත්‍යයේත් දේශපාලනයේත් බොහෝවිට සිදුවනු අපි දකිමු. එහෙත් මේ කතා විද්‍යාත්මකද යන්න සංශයකි. ඇත්තවශයෙන්ම අතීත මිනිසා වේල් තුනටම සහල් පරිභෝජනය කිරීම පොදු යථාර්ථයක් නොවේ. එවිට මායාකාරී අතීතයක් පරිකල්පනය කරගැනීමෙන් සිදුවන්නේ යථාර්ථයේ නැති ඉලක්කයක් වෙනුවෙන් වර්තමානය නිකරුණේ කැපකිරීමට මුළු රටක් තල්ලු කිරීමය. මේ ආකල්පය පෙරලා බලපාන්නේ දේශපාලනික නිවැරැදිභාවය ගැන වද වීමටය. සරලව කිවහොත් එවැනි පරිකල්පිත ඉතිහාසයක් ගැන සිහින දැකීමට පොදු සමාජය සම්මුතිගතවීමය. එහි නපුර වන්නේ කළ යුතු දේ පැහැර හැර පොදු ආකල්ප තෘප්ත කිරීමට ආණ්ඩුවලට සිදුවීමය. ආහාරවල ගුණාත්මකභාවය, වෙළෙඳපොළේ විකුණන ආහාර ද්‍රව්‍යවලට අදාළ පාරිභෝගික අයිතීන් ආදී විෂය ගණනාවක් මේ නිසා මගහැරී යයි. එවිට සිදුවන්නේ දියුණු වෙළෙඳපොළ සංස්කෘතියක් නිර්මාණය කරගැනීමට නොහැකි වීමය.

ආහාර සම්බන්ධ මිල ගැන රජයක් පැටලිලි සහගත ස්ථාවරයක සිටී නම් මාර්ගෝපදේශයක් හැටියට සැලකෙන්නේ ලෝක වෙළෙඳපොළ දෙස හැරී බැලීමය. ලෝක වෙළෙඳපොළ සමග සැසඳීම ආර්ථික විද්‍යාත්මකව සාධාරණය. 2020 මාර්තු මාසයේ ලංකාවේ සම්බා කිලෝවක් විකිණී තිබෙන්නේ රුපියල් 98.00ටය. තායි ෆයිව් පර්සන්ට් (සියයට පහක් බිඳුණු යන අරුතෙන්) නමැති තායිලන්තයේ නිෂ්පාදිත සහල් වර්ගය ඇමෙරිකානු ඩොලර් සත 49කි. ලංකාවේ මුදලින් රුපියල් 93කටය. මේ අප කතා කරන වසංගත ආරම්භක සමයේ ලංකාවේ සම්බා මිල හා තායි බිඳුණු සහල්වල මිල එක සමානය. එහෙත් සැප්තැම්බරය වනවිට ලංකාවේ සම්බා රුපියල් 103.00 ට ඉහළ යන්නේ තායි සහලේ මිල රුපියල් 94කට සුළු වැඩි වීමකිනි. 2021 ජූලි මාසයේදී ලංකාවේ සම්බා කිලෝව රුපියල් 147ක් වෙද්දී තායි සහල් කිලෝව රුපියල් 82කි. මේ සිදුව ඇත්තේ කුමක්ද?

දත්ත ගෙන සසඳා බැලීමේදී තායි, වියට්නාම් ආදී සහල්වල මිල පහළ බසිද්දී මිල ඉහළ යමින් තිබෙන්නේ අපේ රටේය. මේ අවුල ලංකාවට අනන්‍ය එකක් බව විද්‍යාත්මක දත්ත ඇසුරෙන් අපට පැහැදිලිව පෙන්විය හැකිය.

එහෙත් මේ අර්බුදය ඇත්තේ සහල් සැපයුම පැත්තෙන් නොවේ. පොහොර සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රශ්නය පවා පැමිණියේ යල කන්නයෙන් පසුවය. අනෙක් අතට ලංකාව විශාල ආර්ථික ප්‍රපාතයකට වැටී තිබෙන අවස්ථාවේ ලොකු ඉල්ලුමක් නිර්මාණය වී තිබේ යැයි සිතන්නටද බැරිය. එසේ නම් සැපයුමේ අඩුවක්වත් ඉල්ලුමේ වැඩිවීමක්වත් මෙතැන නැත. මෙහි ඇත්තේ අතරමැදියන් කීප දෙනකුගේ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිසා හටගත් බුබුලකි.

අප සියලු දෙනා සාමූහිකව සොයා ගත යුතු විසඳුම වන්නේ මේ අතරමැදියන් සාධාරණ ලෙස හැසිරවිය හැකි ක්‍රමය කුමක්ද යන්නයි. මීට මූලික වශයෙන් විසඳුම් කීපයක් තිබේ. එකක් නම් කැමැති අයකුට සහල් ආනයනය සඳහා සහල්වලට රට විවෘත කිරීමය. එයම මේ අතරමැදියන්ට ලොකු තරවටුවකි. ඇතැම්විට සැබැවින්ම එසේ හාල් ආනයනයක් ද අවශ්‍ය නොවනු ඇත. එසේ කෙරෙන විවෘත කිරීමක් ගැන කරන දැනුම්දීමක් පවා මාෆියාකරුවන්ගේ ගල ග්‍රහණයෙන් වෙළෙඳපොළ  බේරාගැනීමට පියවරක් වනු ඇත.

මන්දයත් කෘත්‍රිම ලෙස ඉහළ දමා ඇති ලංකාවේ සහල් මිලට සාපේක්ෂව අඩු මිලට ලෝක වෙළෙඳපොළේ සහල් ඇති බැවිනි.

එහෙත් ආනයන සීමා පනවාගෙන මේ දේවල් කිරීමට බැරිය. එය සහල්වලට පමණක් නොවේ. සියලු දේට පොදුය. එසේ බලද්දී නම් ලංකාවේ මූලික ආර්ථික විද්‍යා ප්‍රතිපත්තිමය එළඹුම තිබෙන්නේ විසඳුමක් සොයන මගක නොවේ. පැරැණි සාහිත්‍යාලංකාර හා ඇස් බැන්දුමක් මතය. ලෝකයට විවෘත වීම වෙනුවට තව තවත් සංවෘත වී හැකිලෙන ආර්ථිකයක් කරා යොමුවන බව පේන්නේ එහෙයිනි. එයින් අනාගතයේ සිදුවනු ඇත්තේ සහල් පමණක් නොව තවත් විෂය ක්‍ෂේත්‍රයන්හි ද විවිධ ඒකාධිකාරීන් බිහිවීමකි. ඊනියා සංවෘත ආර්ථිකයක කීප දෙනකුට ආනයනවලට වරපතක් දෙන ක්‍රමයක් වුවත් ඊට විසඳුමක් නොවේ.

මක්නිසාද යත් නැවතත් මේ වරපත් දෙන්නා බවට පත්වන්නේ ද බලයේ සිටින ආණ්ඩුවම වන බැවිනි. අවසර දීමට ඇති බලය තුළම නැවතත් විවිධ ළැදියාවන්, විනිවිදභාවය පිළිබඳ ගැටලු වැලක්ම නිර්මාණය වීම සැක නැත. කලක් තිස්සේ නිර්මාණය කරගත් ගැටලු නිසා මේවාට එක රැයකින් ප්‍රතිපත්තිමය එළඹුමක් ගැනීම දුෂ්කර විය හැකිය. එහෙත් මේ ගන්නා තීරණ විද්‍යාත්මක පසුබිමෙහි සිට නොගැනීම විසින් නම් මේ රට විශාල අගාධයකට වට්ටනු ලැබීම නොවැළැක්විය හැකිය.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)