IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිට්වා, ඇත්ත සහ නැත්ත

‘අනතුරු ඇඟවීම් තිබුණා. ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නෑ. මේ විනාශය වළක්වා ගන්න තිබුණා.”‍

මෙය හැඟීම්බරව බලන විට ඉතා ප්‍රබල චෝදනාවකි. ඛේදවාචකයට වගකිව යුත්තකු සොයා ගැනීම ඉන් පහසු කරයි. එහෙත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) වාර්තා, BBC අනාවැකි සහ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රකාශ දෙස විද්‍යාත්මකව බලන විට මතු වන්නේ මීට වඩා බෙහෙවින් සංකීර්ණ සත්‍යයකි.

 

නොවැම්බර් 12 මිථ්‍යාව

චෝදනාව: නොවැම්බර් 12 වැනිදා සිටම ‘දිට්වා‘ කුණාටුව ගැන අනතුරු ඇඟවීම් තිබුණි. සත්‍යය: නොවැම්බර් 12 වැනිදා ලෝකයේ කිසිදු කාලගුණ ආයතනයක් කුණාටුවක් ගැන අනාවැකි පළ කර නොතිබුණි.

කලාපයේ කාලගුණ අනාවැකි පිළිබඳ බලධාරියා වන ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) නොවැම්බර් 12 වැනිදා නිකුත් කළ වාර්තාවේ (Tropical Weather Outlook) කරුණු දෙකක් සඳහන් කළේය. ශ්‍රී ලංකාව අසල සුළං සංසරණයක් පවතී. පළමු වැන්නය. නොවැම්බර් 13-14 අතර අඩු පීඩන කලාපයක් ඇති විය හැක. දෙවැන්නය

එහෙත් තීරණාත්මක කාරණය නම්, එම වාර්තාවේ පැහැදිලිවම මෙසේ සඳහන් වීමයි. ‘‘ඉදිරි සතිය තුළ පීඩන අවපාතයක් හෝ සුළි කුණාටුවක් ඇති වීමේ සම්භාවිතාව සියයට 0 කි. ‘‘එසේම”‍ එය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා නොකෙරේ”‍ යන්නයි.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය මෑතකදී නිකුත් කළ නිවේදනයකින් මේ බව තවදුරටත් තහවුරු කරයි. ඔවුන් අවධාරණය කරන්නේ ඉන්දීය කාලගුණ අංශ නොවැම්බර් 13 ආසන්න දිනකදී ‘දිට්වා’ ගැන කිසිදු අනතුරු ඇඟවීමක් නොකළ බවත්, පළමු නිල කලාපීය හඳුනාගැනීම සිදුවූයේ නොවැම්බර් 23 වැනිදා බවත්ය. එබැවින් සති දෙකකට පෙර අනතුරු ඇඟවූ බවට ඇති මතය විද්‍යාත්මකව පදනම් විරහිතය.

 

එසේනම් ‘දිට්වා‘ ඇත්තටම ඉපදුණේ කවදාද?

කුණාටුවකට නමක් ලැබෙන්නේ, එය නිශ්චිත වේගයක් සහිත ‘‘සුළි කුණාටු”‍ මට්ටමට වර්ධනය වූ පසුව පමණි  නිල වාර්තා අනුව නොවැම්බර් 26 පීඩන අවපාතයක්  (Depression)  නිර්මාණය විය. නොවැම්බර් 27 එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී‘දිට්වා‘ලෙස නම් කෙරිණි . නොවැම්බර් 27-29 එය ලංකාවට කඩා වැදුණි.

එබැවින් නොවැම්බර් 27 වැනිදා වනතුරු ‘දිට්වා’ නමින් සුළි කුණාටුවක් තිබුණේ නැත. තිබුණේ වර්ධනය වෙමින් පැවති අඩු පීඩන පද්ධතියක් පමණි.

කාලගුණ විද්‍යාඥයන් තහවුරු කරන පරිදි, ‘දිට්වා’ යනු පැය 12ක් වැනි කෙටි කාලයක් තුළ පීඩන අවපාතයක සිට සුළි කුණාටුවක් දක්වා ‘ක්ෂණිකව වර්ධනය වූ’ පද්ධතියකි. දේශගුණික විපර්යාස නිසා මෙවැනි තත්ව බහුල වන අතර, එමගින් ආයතනවලට ප්‍රතිචාර දැක්වීමට ලැබෙන කාලය අතිශයින් සීමා කරයි.

 

BBC අනතුරු ඇඟවීම. ඇත්ත සහ බොරුව

චෝදනාව: BBC ආයතනය සති ගණනකට පෙර මහා කුණාටුවක් ගැන කීවේය. සත්‍යය: නොවැම්බර් 25වැනිදා (12 වැනිදා නොවේ) BBC අනාවැකි පළ කළේ ‘මහා වැස්සක්’ ගැන මිස ‘සුළි කුණාටුවක්’ ගැන නොවේ. නොවැම්බර් 25 වැනිදා BBC Weather අංශය ශ්‍රී ලංකාවට ඉදිරි දිනවලදී ‘‘දැඩි වර්ෂාපතනයක්”‍ ඇති විය හැකි බවට අනාවැකි පළ කළේය.

එහෙත් මෙහි කරුණු තුනක් වටහා ගත යුතුය. ඉන් පළමු වැන්න ඔවුන් අනතුරු ඇඟවූයේ තද වැසි ගැන මිස, දරුණු සුළං සහිත කුණාටුවක් ගැන නොවන බවය. මෙම අනාවැකිය පළ වූයේ ‘දිට්වා’ නිර්මාණය වීමට පැය 48කට පෙර මිස සති ගණනකට පෙර නොවන බව දෙවැන්නය. නොවැම්බර් 12 වැනිදා BBC එවැනි අනතුරු ඇඟවීමක් කර තිබුණේ නැත යන්න තෙවැන්නය.

 

ආණ්ඩුව මේ අනතුරු ඇඟවීම් නොසලකා හැරියාද?

මෙය ඉතා සංවේදී සහ තීරණාත්මක ප්‍රශ්නයකි. නොවැම්බර් 25 වන විට ජාත්‍යන්තර ආකෘති සහ BBC අනාවැකි මගින් අවදානම පෙන්වා දුන්නේය. එහෙත් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නිල කලාපීය අනතුරු ඇඟවීම් මතය. එම මොහොතේ IMD ආයතනය තවම කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කර නොතිබුණි. අපේ කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබුණේ ‘‘තද වැසි”‍ පිළිබඳ උපදෙස් මිස ‘‘සුළි කුණාටු”‍ අනතුරු ඇඟවීමක් නොවේ. බොහෝ රටවල ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරන්නේ නිල නිවේදන මත මිස මාධ්‍ය වාර්තා මත නොවේ.

සැබෑ විවේචනය විය යුත්තේ මෙයයි: නොවැම්බර් 25-27 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් තරම් වේගවත් නොවීමයි. ඊට හේතු වූයේ ආයතන අතර සන්නිවේදනයේ මන්දගාමී බව, ‘‘වැසි අනතුරු ඇඟවීමක්”‍ ක්ෂණිකව ‘‘ජාතික හදිසි අවස්ථාවක්”‍ දක්වා ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ක්‍රමවේදයක් නොතිබීම, යල් පැන ගිය තාක්ෂණයයි.

 

රජය ක්‍රියාත්මක විය

රජය කිසිවක්ම කළේ නැතැයි පැවසීම වැරදිය. තද වැසි අවදානම මත රජය පියවර ගත්තේය. අවදානම් දිස්ත්‍රික්කවල පාසල් වසා දැමීය. ධීවර ප්‍රජාවට මුහුදු නොයන ලෙස සහ නාය යාම් සම්බන්ධ අවදානම් කලාපවල ජීවත්වන ප්‍රජාවනට ‘‘රතු නිවේදන”‍ නිකුත් කළේය. ජලාශ නිරීක්ෂණය වැඩි කළේය. හමුදාව සහ සහන කණ්ඩායම් සූදානම් කළේය. ප්‍රාදේශීය බලධාරීන්ට සහන මධ්‍යස්ථාන සූදානම් කරන ලෙස දැනුම් දුන්නේය. ගැටලු‍ව වූයේ කිසිවක් නොකිරීම නොව ‘ක්ෂණිකව වර්ධනය වන’ කුණාටුවේ වේගයට සමාන වේගයකින් නිලධාරි යන්ත්‍රය ක්‍රියාත්මක නොවීමයි.

 

ගැඹුරු සත්‍යය: වසර 20ක අතපසු වීම

‘දිට්වා’ ගැන අවංකව කතා කරන්නේ නම්, වත්මන් පාලනයෙන් ඔබ්බට ගොස් දශක දෙකක ඉතිහාසය දෙස බැලිය යුතුය. 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 5(1) වගන්තිය යටතේ, ජාතික ආපදා කළමනාකරණ සභාව අවම වශයෙන් සෑම මාස තුනකට වරක්වත් රැස්වීම නීතිමය වශයෙන් අනිවාර්ය වුවත්, පසුගිය වසර 20 තුළ එය රැස්වී ඇත්තේ 14 වතාවක් පමණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ සභාවේ 14 වැනි සැසිවාරය 2025 අගෝස්තු 06 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීමට පෙර අවසන් වරට එම සභාව රැස්වී තිබුණේ. 2018 අප්‍රේල් 05 වන දිනයි.

 

රටට නොකියූ කතාව

ජනතාවට කීවේ ‘‘නිශ්චිත අනතුරු ඇඟවීමක් මග හැරියා”‍ කියාය. එය අසත්‍යයකි. රටට නොකියූ, ඇත්තම වැදගත් කතාව මෙයයි. අපේ ආපදා කළමනාකරණ පද්ධතිය අසමත් වූයේ සතියකින් නොවේ. එය වසර 20ක් තිස්සේ අසමත්ව තිබූ පද්ධතියකි. කැබලි වූ නිලධාරිවාදය, තාක්ෂණයට ආයෝජනය නොකිරීම සහ ‘‘වැළැක්වීමට”‍ වඩා ‘‘සිදුවූ පසු ප්‍රතිචාර දැක්වීමට”‍ පුරුදු වූ සංස්කෘතිය ඊට හේතුවයි.

 

ඉදිරි මග

‘දිට්වා’ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම්, ශ්‍රී ලංකාව දේශපාලනයට ඇඟිල්ල දිගු කිරීම පසෙක ලා මෙම ව්‍යුහාත්මක යථාර්ථයට මුහුණ දිය යුතුය. විද්‍යාව ඉතා පැහැදිලිය. දේශගුණික විපර්යාස යටතේ එන ආන්තික කාලගුණ තත්ව ඉල්ලා සිටින්නේ ‘සිදුවීම ස්ථිර වන තුරු බලා සිටින’ ක්‍රමවේදයක් නොව, ‘වේගවත් සහ අවදානම මත පදනම් වූ’ මැදිහත් වීමකි.

 

ඒ සඳහා පහත පියවර අත්‍යවශ්‍ය වේ:

තාක්ෂණික නවීකරණය: දියුණු ඩොප්ලර් රේඩාර් (Doppler radar) ආවරණය, සමූහ අනාවැකි ක්‍රමවේද, පස්වල තෙතමනය නිරීක්ෂණය සහ තත්‍ය කාලීන දත්ත ඒකාබද්ධ කිරීම හඳුන්වා දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ NBRO ආයතනය නවීකරණය කිරීම.

ඒකාබද්ධ අණ දෙන මධ්‍යස්ථානය: කාලගුණ විද්‍යාව, ජල විද්‍යාව, නායයෑම් අවදානම, ජලාශ පාලනය සහ හදිසි ප්‍රතිචාර යන සියල්ල එකම මෙහෙයුම් අධිකාරියක් යටතට ගෙනෙන, බලතල සහිත ඒකාබද්ධ ‘ජාතික ආපදා අණ දෙන මධ්‍යස්ථානයක්’ ස්ථාපිත කිරීම.

බලපෑම් මත පදනම් වූ අනාවැකි: හුදෙක් වැස්ස හෝ සුළඟ ගැන පමණක් නොව, ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක එනම් ගංවතුර, නායයෑම්, මාර්ග අවහිරතා සහ අවතැන්වීම් ආදිය ගැන කල්තියා කියන ‘බලපෑම් මත පදනම් වූ අනාවැකි’ ක්‍රමවේදයට මාරු වීම.

පූර්ව ක්‍රියාමාර්ග: ‘අනාවැකි මත පදනම් වූ මූල්‍යකරණය’ සහ ‘පූර්ව ක්‍රියාමාර්ග ප්‍රොටෝකෝල’ ක්‍රියාත්මක කිරීම.

ක්ෂණික ප්‍රතිචාර: උණුසුම් වන සාගර තත්ව යටතේ ‘දිට්වා’ වැනි කුණාටු පැය කිහිපයක් තුළ ප්‍රබල විය හැකි බව හඳුනාගෙන, ඒ සඳහා ක්ෂණික වර්ධනයන්ට ප්‍රතිචාර දක්වන හඳුන්වා දීම.

ඉඩම් පරිහරණය: විද්‍යාත්මක දත්ත මත පදනම්ව, විශේෂයෙන් නායයෑම් සහ ගංවතුර අවදානම් කලාපවල ඉඩම් පරිහරණ රෙගුලාසි සහ ගංගා ද්‍රෝණි මට්ටමේ සැලසුම් තදින් බලාත්මක කිරීම.

සන්නිවේදනය: සෑම අනතුරු ඇඟවීමක්ම භාෂා ත්‍රිත්වයෙන්ම ක්ෂණිකව SMS සහ මාධ්‍ය හරහා ජනතාව වෙත යැවීම සහ මහජනතාවට පැහැදිලිව තේරුම් ගත හැකි ‘අවදානම් මට්ටම්’ භාවිත කිරීම.

පසුවිපරම: සෑම ප්‍රධාන ආපදාවකටම පසු, වගවීම සහ අනාගත දියුණුව සහතික කිරීම සඳහා ස්වාධීන විද්‍යාත්මක පසුවිපරම් අනිවාර්ය කිරීම.

‘දිට්වා’ සුළි කුණාටුව යනු තනි අනාවැකියක හෝ තනි ආණ්ඩුවක අසමත්කමක් නොවේ. එය විද්‍යාව විසින්ම අපට දෙන ලද රතු එළියකි. තවත් කුණාටු නැවත නිර්මාණය වනු ඇත. එය තවත් ඛේදවාචකයක් බවට පත්වනවාද යන්න තීරණය වන්නේ ශ්‍රී ලංකාව අවසානයේදී හෝ මෙම පණිවිඩයට සවන් දෙනවාද යන්න මතය.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චන්දික ගුණසිංහ



අදහස් (1)

දිට්වා, ඇත්ත සහ නැත්ත

Kumar Tuesday, 16 December 2025 08:09 PM

කුඩා ළමයින්ට වගේම සැම දෙයක්ම රජය කියන්න ඕනෑද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site