ජාතික ජන බලවේගය ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් අසීරුවට පත් කරමින් ශ්‍රී ලංකාවේ අපනයනවලට යුරෝපා සංගමයෙන් ලැබෙන ජී.එස්.පී. සහනයට ඉදිරියේ දී බලපෑම් එල්ල වන තත්වයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මේ අතර පසුගිය වසරක් පුරා යාපනය නගරයේ දොරටුව සේ සැලකෙන චෙම්මනි ප්‍රදේශයෙන් මතුවන මිනිස් ඇටසැකිලි ද වෙයි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා එම ප්‍රදේශයේ සමූහ මිනී වළක් සේ සැලකෙන ස්ථානයක කරන ලද කැණීම්වලින් පුද්ගලයන් 412 දෙනකුගේ ඇටසැකිලි මතු කරගෙන ඇත. ඒ අතර තුඩා දරුවන්ගේ යැයි සැලකෙන ඇටසැකිලි ද රාශියක් තිබී ඇත. ඒවා සමග පාසල් බෑග් හා සෙල්ලම් බඩු ද තිබුණු බව කියැවේ.

සිංහල ජනමාධ්‍යවල මේ පිළිබඳව තොරතුරු පළ නොවන තරම්ය. එහෙත් දෙමළ ජනමාධ්‍යවල මෙම ස්ථානයේ කෙරෙන කැණීම් කටයුතුවලට විශාල වැදගත්කමක් ලැබේ. මෙමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් එල්ල විය හැකියැයි අප සඳහන් කරන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ විදේශගත දෙමළ ප්‍රජාවට සෑහෙන බලපෑමක් කළ හැකිව තිබෙන හෙයිනි.

පසුගිය මාසය දක්වා ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනී වළ ලෙස සැලකුණේ මන්නාරමේ සතොස ආයතනයට අයත් ඉඩමක ඇති සමූහ මිනී වළයි. 2018 දී ඉදිකිරීම් කටයුතුවල නිරත වී සිටි කම්කරුවන් පිරිසකට අහම්බෙන් ඇටසැකිලි කිහිපයක් හමුවීමෙන් පසු කරන ලද කැණීම්වලින් එම ස්ථානයේ සමූහ මිනීවළක් ඇති බව සොයා ගැනිණි. එහි පුද්ගලයන් 370 කගේ පමණ ඇටසැකිලි තිබුණු බව කියැවේ. දැන් චෙම්මනි සමූහ මිනී වළ මෙරටින් සොයා ගන්නා ලද විශාලතම සමූහ මිනී වළ බවට පත් වී ඇත.

මන්නාරම මෙන්ම චෙම්මනි ද රජයේ හමුදා හා ප්‍රධාන වශයෙන්ම කොටි සංවිධානය අතර තිස් වසරකට වැඩි කාලයක් පුරා යුද්ධයක් පැවැති ප්‍රදේශයි. එසේම යුද්ධය පැවැති එම දීර්ඝ කාලය පුරා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් අතුරුදන් වීම පිළිබඳ මැසිවිල්ලක් දෙමළ ජනතාව වෙතින් නැඟිණි. ඒ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූයේ රජයේ හමුදාවලටය.

කෙසේ වෙතත්, චෙම්මනි සමූහ මිනී වළෙන් සොයා ගන්නා ලද ඇටසැකිලි සංඛ්‍යාව ඉතා සුළු මට්ටමේ තිබියදී ද එම ස්ථානය මන්නාරම සමූහ මිනී වළට වඩා උතුරේත් දකුණේත් වැඩි ආන්දෝලනයකට ලක් විය. ඊට එක් හේතුවක් වූයේ මන්නාරම මිනී වළ මෑත කාලීන එකක් නොවේයැයි මතයක් පැතිරීමය. එම මිනී වළෙන් ගොඩගන්නා ලද ඇටසැකිලි රේඩියෝ කාබන් පරීක්ෂණ මගින් කුමන කාලයකට අයත් ඒවාදැයි සොයා බැලීම සඳහා ඒවායේ සාම්පල ඇමෙරිකාවට යවනු ලැබීය. එම පරීක්ෂණ ප්‍රතිඵලවලින් කියැවුණේ ඒවා පහළොස්වැනි හා දහඅටවැනි සියවස් අතර කාලයට අයත් ඒවා බවය.

මෙරට දෙමළ නායකයන් ඒ පිළිගැනීමට සූදානම් නොවූව ද එය එක හෙළා ප්‍රතික්ෂේප කිරීමට ද ඔවුනට නොහැකි වූයේ එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් කාල පරාසය තුළ මන්නාරම ප්‍රදේශයේ මහා සමූහ මිනිස් ඝාතනයක් වී තිබීම නිසාය.

පෘතුගීසීන් මෙරටට පැමිණීමෙන් පසු 1540 දී මන්නාරමේ යම් යම් කුලවලට අයත් දෙමළ පිරිස් කතෝලික දහම වැළඳ ගත්හ. මෙය පෘතුගීසීන්ගේ බලය පැතිරවීමක් සේ දුටු එවක යාපනය රාජධානියේ සිටි සංකිලි රජු 1544 දෙසැම්බර් මාසයේ දී සේනාවක් රැගෙන මන්නාරමට පැමිණ කතෝලික දහම අත් හැරීමට අකැමැති වූ නව කතෝලික දෙමළ වැසියන් 600ත් 700ත් අතර සංඛ්‍යාවක් මරා දැමීමට අණ කර ඇත. ඒ අතර ඔහුගේ වැඩිමල් පුත්‍රයා ද වූ බව කියවේ. මන්නාරම සමූහ මිනී වළෙන් මතු වූයේ එසේ මරා දමනු ලැබූවන්ගේ අස්ථි කොටස්යැයි සමහරු සැක කළහ.

එහෙත් උතුරේ ඇතැම් පිරිස් මෙම තර්කය පිළිගැනීමට එකඟ වූයේ නැත. ඔවුන්ගේ තර්කය වූයේ එසේ නම් එම අස්ථි කොටස් සමග මෑත කාලීන යම් යම් භාණ්ඩ තිබුණේ කෙසේද යන්නයි. මෙම අතීත කතාව නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ මන්නරම සමූහ මිනී වළ චෙම්මනි සමූහ මිනී වළ තරම් ආන්දෝලනයකට ලක් වූයේ නැත. එය ඉතා ඉක්මනින් දෙමළ නායකයන්ට ද අමතක විය.

චෙම්මනි සමූහ මිනී වළ මුල් වරට ආන්දෝලනයට ලක් වූයේ 1996 දී යාපනයේ චුණ්ඩික්කුලි මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි සමූහ දූෂණයට ලක් කරනු ලැබ ඇයත් ඇගේ මවත් සහෝදරයාත් අසල්වැසියකුත් ඝාතනය කරනු ලැබ චෙම්මනි හමුදා මුරපොළ අසල මඩ වගුරක වළලා තිබී හමුවීමේ සිද්ධියෙන් පසුවය. මෙම සිද්ධිය එකල ජාත්‍යන්තර ජනමාධ්‍යවල ද විශාල අවධානයක් ඇද ගත් පුවතක් විය. මේ සම්බන්ධයෙන් හමුදා භටයන් හය දෙනකු අත්අඩංගුවට පත් වූ අතර 1998 දී ඔවුනට අධිකරණයෙන් මරණ දඬුවම් නියම විය.

ඉන් එක් අයකු වූ සෝමරත්න රාජපක්ෂ තමන් මෙම ඝාතනයට සම්බන්ධ නොවූව ද මෙසේ ඝාතනය කරන ලද තවත් 300 කටත් 400 කටත් අතර පිරිසක් එම ප්‍රදේශයේ වළලනු ඇති බව අධිකරණයට පවසා තිබිණි. ඒ අනුව කරන ලද කැණීම්වලදී මළ සිරුරු 15 ක ඇටසැකිලි සොයාගත හැකි විය. එහෙත් පරිපාලනමය හේතු මත එම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගියේ නැත. එම සිදුවීම් ද කාලයත් සමග යටපත් වී ගියේය.

එහෙත් මන්නාරමේ දී මෙන්ම ඉදිකිරීමේ කටයුතුවල යෙදී සිටි කම්කරුවන් පිරිසකට පසුගිය වසරේ දී චෙම්මනියේ දී අහම්බෙන් මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත තවදුරටත් මිනිස් ශරීර කොටස් තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා චෙම්මනියේ කැණීම් කටයුතු පසුගිය වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නොකඩවා සිදුවිය. වත්මන් ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා වෙනත් පහසුකම් සැලසීය. පසුව කාලගුණික හේතු හා ඒ සඳහා වෙන් කරන ලද මුදල් අවසන් වීම නිසා කැණීම් කටයුතු නතර වී මේ වසරේ අප්‍රේල් මාසයේ දී යළිත් ආරම්භ විය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙන් මෙම කැණීම් කටයුතු සිදුවේ. මෙම කැණීම් කටයුතු ආරම්භ වූ මුල් මාසයේදීම ඇටසැකිලි විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමත් සමග මෙම ස්ථානයට ජාත්‍යන්තර අවධානය ද යොමුවිය. ඒ අනුව හරියටම මීට වසරකට පෙර පසුගිය වසරේ ජූනි 25 වැනිදා එවකට මෙරට සංචාරයක යෙදී සිටි මානව හිමිකමි පිළිබඳ එජා මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ද චෙම්මනියට ගොස් එම සමූහ මිනී වළ ආශ්‍රිතව කෙරෙන කැණීම් කටයුතු නිරීක්ෂණය කළේය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ද පසුගිය 19 වැනිදා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් සමග ගොස් මෙම කැණීම් කටයුතු නිරීක්ෂණය කළේය. ඔහුගේ එම සංචාරයට එරෙහිව විරෝධතා දැක් වූ පිරිසක් මෙම කැණීම් කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයැයි බල කර කියා සිටියහ. එහෙත් ඇමැතිවරයා පවසා තිබුණේ දැන් රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කරන හෙයින් ජාත්‍යන්තර මැදිහත්වීමක් අනවශ්‍ය බවය. ඔහු එසේ පැවැසුව ද කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමට යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ රුමේනියාවේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට යාපනය මහේස්ත්‍රාත්වරයා අවසර දී ඇත.

කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු අධිකරණ ඇමැතිවරයා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් හා අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන් ඇතුළු අදාළ පිරිස් සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඊට සහභාගි වූ උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිවරියක හා කොටි සංවිධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයකූ වූ එලීලන්ගේ බිරිය වූ අනන්දි සසිදරන් ප්‍රකාශ කළේ තමන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ කොටි සංවිධානයේ පරාජයෙන් පසු 2009 මැයි මාසයේ දී තමන් ඇතුළු පිරිසක් විසින් හමුදාවට බාරදෙන ලද තම ස්වාමි පුරුෂයා ඇතුළු කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයන් සිය ගණනකට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීම බවයි.

මෙය ඇමැතිවරයා අසීරුවට පත් කරන ප්‍රශ්නයක් වුව ද ඔහු ඊට දුන් පිළිතුර ඔහු එම ප්‍රශ්නය බැරෑරුම් ලෙස සලකන බව පෙන්නුම් කළේය. මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් පරීක්ෂණයකින් තොරව වගකිවයුත්තන් අත්අඩංගුවට ගත නොහැකි බවත් එවැනි පරීක්ෂණයක් සඳහා සාක්ෂි සොයාගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. එවැනි පරීක්ෂණයකදී වැරැදිකරුවන් වන්නන් දකුණේ ද උතුරේ ද යන්න නොබලා ඔවුන්ට දඬුවම් කිරීමට ආණ්ඩුව පසුබට නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සමූහ මිනී වළවල් ගැන කතා කිරීමේ දී උතුරේ ද බොහෝ දෙනා අතුරුදන්වූවන් ගැන ද කතා කරති. ඒ අතුරුදන් වූ තම දූ දරුවන් හෝ මවුපියන් මියගොස් ඇතැයි සිතන්නට ඔවුන් අකැමැති වුව ද සමූහ මිනී වළවල්වලින් සොයා ගනු ලබන අස්ථි කොටස් එසේ අතුරුදන් වූවන්ගේ දැයි සැක සිතන්නට නිතැතින්ම ඔවුන් පොළඹවන නිසාය. මෙය ඉතාමත් අසරණ හැඟීමකි.

කෙසේ වුව ද යුද්ධය පැවැති කාලයේ යුද්ධය ආශ්‍රිත සිදුවීම්වල දී අතුරුදන්වූවන්ට අනාගතයේ දී හෝ සාධාරණය ඉටුවේද යන්න සැක සහිතය. ඒ කල් යාමත් සමග මතු වී ඇති නීතිමය හා වෙනත් ප්‍රායෝගික ගැටලු නිසාය. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි සැක හැර දැන ගැනීමය. ඒ සදහා දැනට ඇති ක්‍රමවේදය නම් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මගින් පරීක්ෂණ පැවැත්වීමය. එහෙත් එමගින් මේ වන විට නිසැක වශයෙන්ම තොරතුරු සොයාගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක්දැයි එම කාර්යාලය මෙතෙක් නිවේදනය කර නැත. වෙනෙකක් තබා අතුරුදන්වූවන් පිළිබඳව කටයුතු කළ හා කටයුතු කරන ආයතන අතුරුදන්වූවන් පිළිබඳව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ද පරස්පරය.

අනෙක් අතට සමූහ මිනී වළවල්වලින් සොයා ගන්නා ලද ඇටසැකිලිවල අනන්‍යතාව සොයාගැනීමක් ද මෙතෙක් වාර්තා වී නැත. එම ඇටසැකිලිවල හිමිකරුවන්ගේ නම්, ගම්, වයස, ගැහැනු පිරිමි බව ආදිය සොයාගැනීමට තවමත් නොහැකි වී ඇතැයි දැනට චෙම්මනි ප්‍රදේශයේ කැණීම් කටයුතු හා සම්බන්ධව කටයුතු කරන නීතීඥවරියක වන රනිතා ඥානරාජා පැවැසුවාය. අනෙක් අතට අතුරුදන්වූවන්ගේ ඉරණම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට නම් ඒ සඳහා සාක්ෂි සොයාගත යුතු යැයි අධිකරණ ඇමැතිවරයා කළ ප්‍රකාශය ද නීතිමය වශයෙන් නිවැරැදිය.

එවැනි සාක්ෂි තිබුණේ නම් යුද්ධයේ දී ද ඒවායින් බොහෝමයක් විනාශ වන්නට ඇත. ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහෝ දෙනකු මිය යන්නට ඇත. ඇතැමෙක් විදෙස් ගතවන්නට ඇත. ඇතැමකුට තවදුරටත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට අවශ්‍යතාවක් හෝ පෙළඹවීමක් හෝ නැති විය හැකිය. වගකිවයුත්තන්ගෙන් ද බොහෝ දෙනකු මිය යන්නට ඇත. විදෙස්ගතවන්නට ඇත. තවදුරටත් මෙම සාක්ෂි මෙසේ අහෝසිවෙමින් පවතී. අතුරුදන්වූවන්ට අනාගතයේදී හෝ සාධාරණය ඉටුවේ ද යන්න සැක සහිත යැයි අප පවසන්නේ එහෙයිනි. ආණ්ඩුවට එ.ජා. මානව හිමිකම් කවුන්සිලය හා යුරෝපා සංගමය වැනි සංවිධානවලින් බලපෑම් කෙරෙන්නේ ඒ තත්වය යටතේය.

(*** එම්. එස්. එම්. අයුබ්)