පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පසුගිය 31 වැනිදා සිකුරාදා, කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක 2-1ක බෙදුණු තීන්දුවකින් මරණ දඬුවම නියම වූ පුවතින් ලාංකිකයන් දැඩි ලෙස විමතියට පත් වූවා නොඅනුමානය.

එම පාස්කු ඉරිදා දිනයේ හෝ ඒ ආශ්‍රිත දිනයක එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කල්තබා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම සහ සාපරාධී නොසලකා හැරීම යන චෝදනාව මත නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන දෙදෙනාට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

බොහෝ දෙනා මෙම තීන්දුවෙන් විමතියට පත් වූයේ ඔවුන් එය අනුමත කිරීම හෝ නොකිරීම නිසා නොව, අධිකරණයේ තීන්දුව සිතාගත නොහැකි තරම් හදිසියේ පැමිණි එකක් වූ බැවිනි. අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණයෙහි නිරත මාධ්‍යවේදීන්ට පවා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙවැනි තීන්දුවක් ගනු ඇතැයි පූර්ව අවබෝධයක් තිබුණේ නැත.

ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙක් මේ දඬුවම් පිළිබඳව අදහස් දැක්වූහ. ඇතැම් පිරිස් මෙම තීන්දුව සහ දඬුවම අනුමත කරන අතරම, 2023 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම වරදටම ‘‘එනම් රාජකාරිය පැහැර හැරීම සහ නොසලකා හැරීමට’’ වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුඵ අනෙකුත් අයට එරෙහිව මෙම නඩුවේ දී අධිචෝදනා ගොනු නොකිරීම පිළිබඳව කුතුහලයට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබුණි.

තවත් සමහරුන් මේ දෙදෙනාට දෙන ලද මරණ දඬුවම උපයෝගී කරගනිමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වැරැදි බව කියන්නට උත්සාහ කරන බවක් ද පෙනුණි.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිමය තර්කයක් ඉදිරිපත් කරමින් හිටපු අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා සිය ෆෙස්බුක් සටහනක මෙසේ සඳහන් කර තිබිණි. “නොසලකා හැරීම කෙතරම් බරපතළ වුවත්, රාජකාරිය පැහැර හැරීමේ ප්‍රතිවිපාක කෙතරම් විනාශකාරී වුවත්, එයින් සාමාන්‍යයෙන් මිනීමැරුමක් හෝ මිනීමැරීමට තැත් කිරීමක් හෝ වැනි වරදකට අවශ්‍ය වන ‘චේතනාව’ තිබූ බව සැලකිය නොහැකිය. අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම කොතරම් වරදක් වුව ද, එය මිනීමැරීමේ චේතනාවට හෝ මිනීමැරුමකට අනුබල දීමේ හෝ චේතනාවට සමාන නොවේ.”

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්නයේ දී වැදගත් ජන කොට්ඨාසයක් වන ත්‍රස්ත ප්‍රහාරයෙන් සෘජුවම විපතට පත් වූ ක්‍රිස්තියානි ප්‍රජාව මහජන ආරක්ෂාව භාරව සිටි ඉහළම නිලධාරීන් දෙදෙනකුට දෙන ලද මෙම මරණ දඬුවම හමුවේ දැඩි නිහඬතාවක් පෙන්නුම් කළහ. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සාධාරණය ඉල්ලා පෙරමුණේ සිටි කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ නායකත්වයෙන් යුත් කතෝලික ප්‍රජාව අධිකරණයේ මෙම තීන්දුවෙන් සතුටට හෝ නොසතුටට හෝ පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ඔවුන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කළේ නැත, එමෙන්ම ඒ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය විමසීමට කිසිදු මාධ්‍යවේදියකුට ද අවශ්‍යතාවක් තිබුණේ නැත. එක් අතකින් බලන කල, සිය ගණනක් අහිංසක පිරිමින්, ගැහැනුන් සහ ළමයින් අමානුෂික ලෙස ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට සමාව දෙන ලෙස අපරාධය සිදු වූ වහාම සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටි නායකයකු සිටින ප්‍රජාවක්, එසේ ඝාතනය වූ අහිංසක ජීවිත ආරක්ෂා කිරීමට අපොහොසත් වූ දෙදෙනකුට නියම කරන ලද මරණ දඬුවම ගැන සතුටු වනු ඇත්දැයි කෙනකු තර්ක කළ හැකිය.

ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් කවුරුන්ද යන්න සහ අහිංසක මිනිසුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ඔවුන් පෙළැඹවූයේ කුමන හේතුවක්ද යන්න පිළිබඳව විපතට පත් ප්‍රජාව ඊට වඩා වැඩි අවධානයක් යොමු කළහ. එහෙත් ඉන් පසු බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ එම පැනයට පිළිතුරු ලැබුණේ නැත.

ප්‍රහාරය සිදුවන කාලයේ බලයේ සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, සිද්ධියෙන් පැය 24 ක් ඇතුළත එම සිදුවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එම කමිටුව 2019 ජූනි 10 වැනිදා ජනාධිපතිවරයා වෙත සිය වාර්තාව බාර දුන්නේය.

එම කමිටුව පරීක්ෂණ පවත්වමින් සිටියදී, 2019 මැයි 22 වැනිදා, එම කරුණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහාම නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නවදෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළේය. පිටු 272 කින් යුත් එම කාරක සභාවේ අවසාන වාර්තාව 2019 ඔක්තෝබර් 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුව ද, එම වාර්තාවෙන් හෝ මලල්ගොඩ කමිටු වාර්තාවෙන් හෝ වැදගත් කිසිවක් හෙළිදරව්වූයේ නැත.

ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවලින් සෑහීමකට පත් නොවූ අගරදගුරුතුමෝ, 2019 ජූලි මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකදී, රටේ පාලකයන්ට කොන්දක් නැති බවත්, ඔවුන් යටතේ රාජ්‍ය පාලනය අසාර්ථක වී ඇති බවත්, රට පාලනය කිරීමට සමත් පුද්ගලයන්ට ඉඩ දී ඔවුන් ධුරවලින් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කළහ.

ඒ වන විට සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ හවුල් පාලනය යටතේ ජාතික ආරක්ෂාව පත් වී ඇති තත්වය දැඩි ලෙස විවේචනය කරමින්, එම වසරේ අවසාන භාගයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකු වීමට බලා සිටි, ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසට අගරදගුරුතුමන්ගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඒ අනුව අගරදගුරුතුමන්ගේ මෙම ප්‍රකාශය ද බරපතළ දේශපාලන ප්‍රකාශයක් වූ අතර, එය  නව දේශපාලන නැඹුරුව වඩාත් පැහැදිලිව පෙන්නුම් කළ අවස්ථවක් ද විය. එසේම එයින් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිශයින් සතුටට පත් වන්නට ද ඇත.

රාජපක්ෂ මහතා සහ ඔහුගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාස්තු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේය. එම පක්ෂයේ හා එම පක්ෂය හා සම්බන්ධ අනෙක් පක්ෂවල විවිධ මට්ටම්වල කණ්ඩායම් එම සිද්ධිය පදනම් කරගෙන රට තුළ අති විශාල මුස්ලිම් විරෝධී ප්‍රචාරයක් ගෙන ගියහ. සෑම මුස්ලිම් පුද්ගලයකුම ත්‍රස්තවාදියකුයැයි කියැවෙන ආකාරයට පොදුජන පෙරමුණට හිතවත් ජනමාධ්‍ය ඒ දිනවල දවස පුරා විවිධ වැඩසටහන් ප්‍රචාරය කළේය. මුස්ලිම් වෛද්‍යවරයකු සිංහල කාන්තාවන් 4,000 කට වැඩි පිරිසක් වන්ධ්‍යාකරණයට ලක් කර ඇතැයි ද සෑම මුස්ලිම් නිවෙසකම කඩු කිණිස ඇතැයි ද එම ප්‍රචාරයෙන් කියැවිණි. මුස්ලිම් කාන්තාවන් පමණක් නොව මුස්ලිම් පිරිමින් පවා දහවල් කාලයේත් බියෙන් තොරව මහ මග ගමන් කිරීමට බිය වන තත්වයක් එමගින්  ඇති විය. මෙම ප්‍රචාරයෙන් සිංහල ජනතාව තුළ ඇති කරන ලද බලපෑම හේතුවෙන් 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පහසුවෙන්ම ජය ගත් අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කරන බවට ද එම මැතිවරණ ප්‍රචාරයේ දී පොදුජන පෙරමුණේ නායකයෝ කිතුනු ජනතාවට පොරොන්දු වූහ.

බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කිතුනු ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරන්නට වැදගත් කිසිවක් නොකළ ද, එම පාලනයේ මුල් කාලයේ දී අගරදගුරුතුමන් නව ආණ්ඩුව සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්ට තිබිණි. ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට ද පත් කළහ. එම ආණ්ඩුව ඔවුන්ගේ පොරොන්දුවට අදාළව අලුතින් යමක් කළේ නම් ඒ හිටපු වෙළෙඳ අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් වැනි කිහිප දෙනකු ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රබල සාක්ෂි ඇති බව පවසමින් අත්අඩංගුවට ගැනීම පමණි.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ රජය ද ඉතා සුළු කලෙකින් විපතට පත් ප්‍රජාවගේ උදහසට ලක් විය. රිෂාද් සහ රියාජ් සහෝදරවරු ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රමාණවත් හා ප්‍රබල සාක්ෂි ඇති බව කියමින් අත්අඩංගුවට ගනු ලැබුව ද එවැනි කිසිදු සාක්ෂියක් නැති බව පවසමින් මාස කිහිපයකට පසු නිදහස් කරනු ලැබූහ. ඊට විරුද්ධ වූ කාදිනල් මැල්කම් රංජිත් අගරදතුමන් එවිට චෝදනා කළේ ආණ්ඩුව “ඩීල් දේශපාලනයක්”

කරන බවයි. එමගින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කෙරෙහි තිබූ විශ්වාසය පලුදු වූ බව ද අගරදගුරුතුමෝ පැවැසූහ.

ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරු හෙළි කරන බවට පොරොන්දු වූ ආණ්ඩුවේ නායකයන්ට ඒ සම්බන්ධයෙන් අලුතින් කිසිවක් කළ නොහැකි විය. ඔවුහු අලුතින් සෙයා ගත් දෙයක් මෙන් ඒ වන විට අත්අඩංගුවේ සිටි නව්ෆර් මවුලවි ප්‍රහාරයේ මහ මොළකරු යැයි කීහ. එය එක් අතකින් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට කළ අපහාසයක් ද විය. මන්ද යත් නව්ෆර් මව්ලවි අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් නොව ඊට පෙර පැවැති මෛත්‍රී-රනිල් ආණඩුව යටතේය.

ඒ වන විට, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට චෝදනා කරන මතයක් ගොඩ නැගෙමින් තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි වූ බලාපොරොත්තු කඩවීමත් සමග කතෝලික ප්‍රජාවේ නායකයන් ද එම මතය වෙතට තල්ලුවී යන බවක් පෙනෙන්නට තිබුණි. 2022 දී ඇතිවූ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැඟුණු ‘අරගලය‘ නමින් ප්‍රකට මහජන නැඟිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානය සනිටුහන් කෙරෙන විට, කතෝලික නායකයන්ට ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය මුළුමනින්ම නැති වී ගොස් තිබිණි.

ඉන් පසු පොදුජන පෙරමුණේ සහාය ඇතිව පිහිටුවන ලද රනිල් වික්‍රමසිංහ පාලනය සම්බන්ධයෙන් ද එය එලෙසම පැවැතුණි. එබැවින්, කතෝලික සභාව වික්‍රමසිංහ මහතා විසින් ත්‍රස්තවාදී ප්‍රහාරයට පෙර සිදුවූ බුද්ධි අංශයේ දුබලතා පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ජයකි අල්විස් කමිටුව හා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනිය 2023 විකාශය කළ වැඩසටහනක් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ඉමාම් කමිටුව යන දෙකම ප්‍රතික්ෂේප කළේය.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය බොහෝදුරට තහවුරු වී තිබිණි. එසේම, ඒ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් විපතට පත් ප්‍රජාව හා ජාතික ජන බලවේගය එකම ස්ථාවරයක සිටියේය. කෙසේ වෙතත්, මේ වසරේ පෙබරවාරි 25 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතියක් නැති වීම හේතුවෙන් කතෝලික ප්‍රජාවේ නායකයෝ ජාතික ජන බලවේගයේ පාලනය කෙරෙහි ද ක්‍රමයෙන් කලකිරීමට පත් වෙමින් සිටියහ. එය යළි තරමක් හෝ ගොඩ නැඟුණේ සලේ අත්අඩංගුවට පත් වීමත් සමගය.

සුරේෂ් සලේ තමන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් අගරදගුරුතුමන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ මෙවැනි පසුබිමකය. එබැවින්, පූජිත් ජයසුන්දර මහතාට හා හේමසිරි ප්‍රනාන්දු මහතාට නියම වූ මරණ දඬුවම විපතට පත් ප්‍රජාවට එතරම් වැදගත් වූ බවක් නොපෙනුණි. එම නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම ඔවුනට අලුත් දෙයක් නොවේ. ඔවුනට වැදගත් වූයේ මේ මහා අපරාධය සැලසුම් කළේ කවුරුන් ද යන්න යි.

 

(*** එම්.එස්.එම්.අයුබ්)