ප්‍රංශය ගිනි ගනී. බටහිර යුරෝපයේ සාරවත් සංස්කෘතික උරුමයකට මෙන්ම දීර්ඝ ඉතිහාසයකට දහිමිකම් කියන, විශිෂ්ට කලාත්මක සහ ආර්ථික වැදගත්කමකින් යුත්, ලොව ප්‍රධාන පෙළේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ප්‍රංශය ගිනි ගන්නේ, අධ්‍යාපන පද්ධතියේ පවතින අඩුලුහුඬුකම්, රජය සිදු කළ ප්‍රතිපාදන කප්පාදු සහ දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහළ යෑම ආදී කරුණු කාරණා මුල්කොට ගනිමිනි. ඉකුත් සති අන්තයේ ප්‍රංශයේ ප්‍රධාන නගරවල ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න විය. විරෝධතා පවත්වන තරුණ පිරිස් කඩසාප්පු කොල්ල කෑමට, පහර දී විනාශ කළහ. එම දසුන් විදෙස් පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි. පැරිස් අගනුවර පමණක් නොව, මාසේල්, ලියොන්, නීස්, ලිල් වැනි ප්‍රධාන නගර යුද පිටියක ස්වරූපයක් ගත්තේය. ඒ, කලහකාරී විරෝධතාකරුවන් මර්දනයට, ප්‍රංශ රජය කැරැලි මර්දන පොලිසිය යෙදවීමත් සමගය. එය ගින්නට පිදුරු දැමීමක් විය. ප්‍රචණ්ඩකාරීන්, කඩසාප්පුවලට කඩා වැදී අයි.ෆෝන් කොල්ල කන වීඩියෝවක් පවා දකින්න ලැබුණි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, පැරිස් අගනුවර අතුළු ප්‍රධාන නගර කීපයකට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගත් අතර, මේ වනවිටත් ඇඳිරි නීතියේ වෙනසක් සිදු වී නැත. අවශ්‍යතාව අනුව, රටේ සෙසු නගරවලට ද ඇඳිරි නීතිය පනවන බවත්, විරෝධාතා දැඩි ලෙස මර්දනය කරන බවත් ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබාස්තියන් ලෙකොර්නු අවධාරණය කර ඇත.
 
පසුගිය සති අන්තයේ ප්‍රංශය පුරා පැවැති විරෝධතාවලට එක් වුණු පිරිස 500,000 වැඩි යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විරෝධතාකරුන් සහ පොලිසිය අතර හටත් ගැටුම් උත්සන්න වෙද්දී, පසුගිය සති අන්තයේ පමණක් කලහකාරීන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්විය. පැරිස් අගනුවර සහ මාසේල් නගරයේ රාජය ආයතන, වෙළෙඳසැල්, ව්‍යාපාරික ස්ථාන 3,000 ක් පමණ කොල්ලකෑසට ලක් විය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ඔහුගේ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව්ගේ පවුල්වල ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුවිය. මේවනවිට ඒවාට පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
 
රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රංශ අග්‍රාමාත්‍ය ලෙකොර්නු සහ අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා ලෝරන්ට් නූනෙස්, ආරක්ෂක අංශ සමග සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡා අවසන් වෙද්දී පොලිසියට සහාය දැක්වීමට ප්‍රංශ හමුදාව ද යෙදවිණි. සාමය තහවුරු කිරීම ආරක්ෂක අංශවල අරමුණ යැයි අවධාරණය කෙරුණි. විරෝධතා ඔඩුදුවද්දී, අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා ලෝරන්ට් නූනෙස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා උත්සාහ කළේය. එහෙත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊට තරයේ විරෝධය පළ කළ බව ද වාර්තා විය. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම්වලින්, පොලිස්නිලධාරීන් 800 දෙනකුටත්, විරෝධතාකරුවන් 2,000 කට වැඩි පිරිසකටත් තුවාල සිදුවුණු බව පැවැසෙයි.
 
බිහිසුණු ප්‍රචණ්ඩ විරෝධතා සහ නොසන්සුන්තා අතරතුර පැරිස් නගරය ඇතුළු ප්‍රධාන නගරවල ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි රැසක් ද විනාශ වී අවසන්ය. ලෝක යුද්ධවලින් පවා විනාශ නොවී බේරුණු පුරාණ ගොඩනැගිලිවලට විරෝධතාකරුවන් ගිනි තබා ඇත. මෙය අපරාධයකි. ලිමෝග්ස් ඓතිහාසික නගර ශාලාවට ද විරෝධතාකරුවෝ ගිනි තැබූහ. මාසෙල්, ලිල් වැනි නගරවල පැරණි නගර සභා සහ රාජ්‍ය කාර්යාලවලට පිරිස් බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට හානි සිදු කර ඇත. ලියෝන් සහ ග්‍රෙනෝබල් නගරවල පැරණි සංචාරක තොරතුරු මධ්‍යස්ථාන මෙන්ම ඓතිහාසික ගොඩනැගිලි කිහිපයකට ද ගිනි තබා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. පැරිස් නගරයේ බුලවාද් මැජෙන්ටා සහ ෂොම්ස් එලිසේ අවට පැරණි ගෘහනිර්මාණ ශිල්පීය අගයෙන් යුත් සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ, සුඛෝපභෝගී වෙළඳසැල් සහ බැංකු ගොඩනැගිලි ද විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයන්ට සහ කොල්ලකෑම්වලට ලක්වුණු බව ද පැවැසෙයි.
 
2008 වසරේ සිදු කරන ලද ව්‍යවස්ථා සංශෝධනට අනුව ප්‍රංශ ජනාධිපතිවරයකුට ධුර කාල දෙකකි. එක් ධුර කාලයක් වසර 5 කි. ප්‍රංශ ජනපති ලෙස කටයුතු කරන ඉමැනුවෙල් මැක්රොන් මේ වනවිට සිය දෙවැනි සහ අවසන් ධුරයේ අවසානයට ලක්ව ඇත. ප්‍රංශ ජනාධිපතිවරණය 2027 මැයි මාසයේ දී පැවැත්වෙයි. ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව, මැක්රොන්ට යළි ජනාධිපති විය නොහැක. සාමකාමීව ආරම්භ වුණු විරෝධතා අතරට, රිංගා ගනිමින්, ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇති කර ගන්නටත්, දේපොළ හානි කිරීමටත් මුස්ලිම් අන්තවාදීන් කටයුතු කරන බවට මෙන්ම එම අන්තවාදීන් උසි ගැන්වීමට අන්ත වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියා කරන බවට ප්‍රංශ රජය දිගින් දිගටම චෝදනා කරයි. රටේ පවතින නොසන්සුන්තා මුල්කොට ගනිමින් ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ මධ්‍යස්ථ ලිබරල්වාදී රජය අපකීර්තියට පත් කිරීමට උත්සාහ ගන්නා පටු දේශපාලන කණ්ඩායම් ද සිටින බව පැවැසෙයි. අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ලේ පන් ඒ අතර පෙරමුණේ සිටින්නීය.
 
ට්‍රම්ප් කියන දේ
ප්‍රංශයේ ප්‍රචණ්ඩත්වයට හේතුව විදෙස් සංක්‍රමණිකයන්ගේ ආගමනය බවත්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රමුණ රජය විදෙස් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්තිය ප්‍රංශයට පාරාවළල්ලක් වුණු බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. “බලන්න. ප්‍රංශය ගිනි ගිනි ගන්නවා. අනෙක් මනුස්සයා ගැන තැනීමක් නොකරන, වෛරය පිරුණු අන්තවාදීන්ට ප්‍රංශ නායකත්වය දොර විවාර කර දීලා තියෙනවා. දැන් ඒ අන්තවාදීන් ප්‍රංශය විනාශ කරනවා. විරෝධතා අසල්වැසි යුරෝපා රටවලටත් පැතිරෙමින් පවතිනවා. තවත් ප්‍රමාද නැහැ. දැන්වත් දේශසීමා වසා දාන්න. තත්ත්වය පාලනය කර ගන්න. අන්තවාදීන් තම තමන්ගේ රටවල්වලට ගෙන්වා ගන්න එපා.” ට්‍රම්ප් මෙසේ සඳහන් කළේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිණි. මේ අතර පෙරේදා (21) ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේ පැරිස් අගනුවර, වැඩිකලක් යෑමට පෙර, මුස්ලිම් නගරයක් බවට පත්වනු ඇති බවය. “ප්‍රංශ වැසියන් ප්‍රංශයට ආදරෙයි. එයාලා කවදාවත් එයාලගේ රට විනාශ කරගන්නේ නැහැ. අඩුපාඩු ගැන කියමින් ජීවන බර ගැන කියමින් පැවැත්වෙන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා පසුලස ඉන්නේ ප්‍රංශ වැසියන් නොවෙයි. මුස්ලිම් අන්තවාදීන්. අද එංගලන්තයේ ලන්ඩන්වල තත්ත්වයත් පැරිසියට සමානයි. ශ්‍රේෂ්ඨ ලන්ඩනයත් මුස්ලිම් පුරයක් බවට පත් වී අවසන්. ප්‍රංශයට මෙවැනි වින්නැහියක් වේවි මා කලින් අනතුරු ඇඟවූවා. මැක්රොන් ගණන් ගත්තේ නැහැ.” ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසුවේය. ට්‍රම්ප් මේ වනවිට මධ්‍යවාර මැතිවරණයට සූදානමින් සිටී. ඔහු මැතිවරණ රැලි පවත්වයි. එම මැතිවරණ රැලිවලදී ට්‍රම්ප් අවධාරණය කරන්නේ ප්‍රංශයේ මෙන් ඇමෙරිකාවේ මුස්ලිම් අන්තවාදය හිස එසවීමට කිසිදු ඉඩක් නොදෙන බවය. ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය ලබන නොවැම්බර් මුල් සතියේ පැවැත්වෙයි. මධ්‍යවාර මැතිවරණය යනු ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලයෙන් වසර දෙකක් පිරෙන අවස්ථාවේදී (ධුර කාලය මැදදී) පවත්වනු ලබන ඉතා තීරණාත්මක මැතිවරණයයි. මෙම මැතිවරණයේදී ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සහ සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සිදුවෙයි. ජනපද බොහොමයක් සඳහා ආණ්ඩුකාරවරුන් ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන් තෝරා ගැනීමද සිදුවෙයි.
 
නෙදන්යාහු කියන දේ
ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය ලබන 27 වැනිදා පැවැත්වෙයි. දිගටම බලයේ සිටීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊට ඉදිරිපත් වෙයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ ප්‍රංශය අතරේ මිත්‍රත්වය පළුදු වී ඇත. හේතුව, ගාසා තීරයේ පලස්තීනුවන් වෙනුවෙන් ප්‍රංශය පෙනී සිටී. ගාසා තීරය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගෙන සිටින පළමු යුරෝපා රට වන්නේ ප්‍රංශයයි. රූපවාහිනී නාළිකාවක් සමග සම්මුණ සාකච්ඡාවකට එක් වෙමින්, ප්‍රංශයේ විරෝධතා සම්බන්ධයෙන් නෙදන්යාහු ද ඔහුගේ අදහස් පැවැසීය. “2023 ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් මුස්ලිම් ත්‍රස්තවාදීන් අපට (ඊශ්‍රායලයට) පහර දුන්නා. ඒ වෙලාවේ අපි ගාසා තීරයට පහර දුන්නා. මැක්රොන් ප්‍රමුඛ රජය දිගින් දිගටම ඒ වෙලාවේ අපට (ඊශ්‍රායලයට) දොස් කීවා; ගාසා වැසියන් ගැන අනුකම්පාවෙන්. මා ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට ඇමතුමක් දුන්නා. මා කීවා “ඉමැනුවෙල් මුස්ලිම් අන්තවාදය අප අඩපණ කළ යුතුයි. නැතිනම් අපට (ඊශ්‍රායලයට) අත්වුණු දේ, ප්‍රංශයේ පැරිසියට වෙන්න පුළුවන්. ඔබේ රට තුළ අයි.එස්.අයි.එස්. වැනි අන්තවාදීන් හිස එසවීම කළොත්, ඉස්ලාමීය ආක්‍රමණයක් රට තුළින් නැගී සිටියොත් ඒක මහ විනාශයක් වේවි. මා එදා අනාවැකි පළ කළා. ඔන්න දැන් අද එය යථාර්ථයක් වෙලා.” යැයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ, අයි.24.නිවුස් රූපවාහිනී නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු අවස්ථාවේදීය.
 
මැක්රොන් කියන දේ
ප්‍රංශ විරෝධතා සම්බන්ධයෙන් ට්‍රම්ප්, නෙදන්යාහු ඇතුළු විදෙස් නායකයන් කළ ප්‍රකාශ, ඉමැනුවෙල් මැක්රොන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. විරෝධතා පසුපස මුස්ලිම් අන්තවාදය සිටින බව හෝ තම රජයේ සංක්‍රමණික ප්‍රතිපත්ති නිසා ප්‍රංශය ගිනි ගන්නවා යැයි පැවැසීම තමන් කිසිසේත් පිළිගන්නේ නැතැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් තරයේ අවධාරණය කර ඇත. ට්‍රම්ප් සහ නෙදන්යාහු වගේ නායකයන්ට අවංකවම ප්‍රංශය ගැන කැක්කුමක් නැහැ. එයාලා ප්‍රංශයට ආදරේ කරන අය නොවෙයි. එයාලා මේ වෙද්දි ඡන්දවලට මුහුණ දෙන්න සූදානමින් ඉන්නේ. එයාලා අපේ රට (ප්‍රංශය) ගැන අදහස් දක්වන්නේ, ඡන්ද වාසි වෙනුවෙන්. එයාලගේ පටු දේශපාලන ව්‍යාපාර සහ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන්. ප්‍රංශය ආර්ථික හා සමාජීය දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. ඒක ඇත්ත. ජනතාවට අයිතියක් තියෙනවා සාධාරණ ලෙස ඉල්ලීම් කරන්න. ඒත් අපට පැහැදිලිව පෙනෙනවා, දේශපාලන උසි ගැන්වීම් සිද්ධ වෙනවා. රටේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ කොල්ලකෑම් පසුපස ඉන්න අන්තවාදීන් මෙහෙයවීම සිදු කරන්නේ අන්ත වාංශික දේශපාලන බලවේග බව පැහැදිලියි. ප්‍රංශයට සැබෑවට ආදරේ කරන කිසිම කෙනෙක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වෙන්නේ නැහැ. නීතිය සහ සාමයට එයාලා ගරු කරනවා. නීතිය සහ සාමය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව අප (ප්‍රංශ රජය) නීතිය ක්‍රියාත්මක කරනවා. කිසිම සමාවක් දෙන්නේ නැහැ.” යැයි ප්‍රංශ ජනපති මැක්රොන් පවසයි.
 
යුරෝපය පුරා විරෝධතා
ප්‍රංශයේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී විරෝධතා නමැති ළැව් ගින්න, ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී, සෙසු බටහිර රටවලට ද පැතිර යමින් පවතී. ප්‍රංශයේ මහජන නොසන්සුන්තාවන් සහ විරෝධතාවලට සමාන මහජන නොසන්සුන්තා සහ විරෝධතා ඉතාලියේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ, බෙල්ජියමේ, ඇල්බේනියාවේ සහ ජර්මනියේත්, තවත් යුරෝපා රටවල් කීපයක පැවැත්වෙයි. බෙල්ජියමේ විරෝධතා පැවැත්වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපාදන කප්පාදුව, පාසල්වල පහසුකම් නොමැති වීම, අධ්‍යාපන වියදම් ඉහළ යෑම ආදී කරුණු කාරණා මුල්කොට ගනිමිනි. ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතාවලට සමානව, බ්‍රසල්ස් සහ ලීජ් වැනි නගරවල සිසුන් සහ ගුරුවරුන් වීදි බැස විරෝධතා පවත්වමින් සිටී. ස්පාඤ්ඤයයේ ජනතා විරෝධතා ආරම්භ වී ඇත්තේ එරට නිවාස අර්බුදය සහ ජීවන වියදම ඉහළ යෑම හේතුවෙනි. මැඩ්රිඩ්, බාර්සිලෝනා වැනි ප්‍රධාන නගරවල නිවාස කුලිය සහ නිවාස මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යෑම හේතුවෙන් ජනතාව වීදි බැස සිටී. ඉතාලියේ විරෝධතා පැවැත්වෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සහ ඇගේ රජය, අධ්‍යාපන පද්ධතියේ සිදු කළ කප්පාදු මුල්කොට ගනිමිනි. ජීවන වියදම ඉහළ යෑම සහ කම්කරු අයිතිවාසිකම් සුරැකීමට රජයට බල කරමින් විරෝධතා පැවැත්වෙයි. ටියුරින්, බොලොඤ්ඤා සහ මිලාන් වැනි නගරවල සිසුන් සහ වෘත්තීය සමිති එකතු වී අධ්‍යාපනය සහ පොදු සේවා සඳහා වෙන් කරන ප්‍රතිපාදන අඩු කිරීමට එරෙහිව ද විරෝධතා පැවැත්වෙයි. පෘතුගාලය ජීවන වියදම, අඩු වේතන සහ නිවාස ප්‍රශ්න විරෝධතාවලට හේතුව වී ඇත. එරට ලිස්බන් සහ පෝර්ටෝ නගරවල ජෙන් සී තරුණ ප්‍රජාව සහ රැකියා නියුක්තිකයන් එකතු වී උද්ධමනයට සාපේක්ෂව වේතන ඉහළ නොයෑමටත්, ඉහළ යන ජීවන වියදමටත් එරෙහිව විරෝධතාවල නිරත වන බව වාර්තා වේ. ඇල්බේනියාවේ රාජ්‍ය දූෂණය, අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ දේශපාලන අර්බුද, ජනතා නොසන්සුන්තායක් ඇති කිරීමට සමත් වී තිබේ. ඇල්බේනියානු අග්‍රාමාත්‍ය එඩි රාමාගේ රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ද විපක්ෂයේ මෙහෙයවීමෙන් විරෝධතා පැවැත්වෙයි

ලුුුුසිත ජයමාන්න (බී.බී.සී ඇසුරින්)