මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ නිර්මාණය වී ඇති යුදමය වාතාවරණය, ලෝක සාමය මෙන්ම ගෝලීය ආර්ථිකය කෙරෙහි ද අතිශය බරපතළ ප්‍රතිවිපාක එල්ල කරමින් පවතී. මෙය තත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව, ලෝකයේ ප්‍රබල රාජ්‍යවල ආර්ථික ස්ථාවරත්වයට ද දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබේ.

විශේෂයෙන්ම බලශක්ති සැපයුම සහ ජාත්‍යන්තර වෙළෙඳ මාර්ග අඩාළවීම හේතුවෙන් සමස්ත ලෝකයම අවිනිශ්චිත ආර්ථික අගාධයකට ඇදවැටීමේ අවදානමක් උද්ගතව තිබේ. යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ඉන් ඇතිවන මානුෂීය ඛේදවාචකය සහ ගෝලීය මූල්‍ය අර්බුදය පාලනය කිරීම අතිශය දුෂ්කර වනු ඇත.

වර්තමාන යුද වාතාවරණය හමුවේ උද්ගත වී ඇති බරපතළම ගැටලු‍වක් වන්නේ බලශක්ති අර්බුදයයි. ශ්‍රී ලංකාව වැනි රටවල් බලශක්ති අවශ්‍යතාව සඳහා ප්‍රධාන වශයෙන් ආනයනික ඉන්ධන සහ ගෑස් මත යැපෙන බැවින්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම දේශීය බලශක්ති පිරිවැය කෙරෙහි ඍජුව බලපායි. විදුලි උත්පාදනය යම් ප්‍රමාණයකට දේශීයව සිදු කළ ද, ප්‍රවාහන හා කර්මාන්ත ඇතුළු සෙසු සියලු‍ම අංශ ඉන්ධන මත පදනම් වීම නිසා මෙම තත්වය සමස්ත ආර්ථිකයටම දැඩි පීඩනයක් එල්ල කරයි.

බලශක්ති පිරිවැය කළමනාකරණය සහ උද්ධමනය පාලනය කිරීම සඳහා රජය විසින් ‘QR කේත’ ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙය ඉන්ධන ඉල්ලු‍ම සීමා කරමින් පීඩනය අවම කර ගැනීමට ගත් කෙටිකාලීන සාර්ථක පියවරක් වුව ද, ඉන් ආර්ථිකයට ඇතිවන දිගුකාලීන බලපෑම ගැටලු‍කාරී වේ. විශේෂයෙන්ම මෙම ක්‍රමය ගෑස් වැනි අනෙකුත් බලශක්ති ප්‍රභව සඳහා ප්‍රායෝගික නොවන අතර, ඉන්ධන භාවිතය සීමා කිරීමෙන් නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, ඉදිකිරීම්, ධීවර සහ අධ්‍යාපන යන සෑම අංශයකටම අහිතකර බලපෑම් එල්ල වේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ සැපයුම් දාම අඩාළ වීම හේතුවෙන් දේශීය නිෂ්පාදිතය පහළ වැටෙන අතර, මෙය රටේ සමස්ත ආර්ථික වර්ධනයට බාධාවකි. එබැවින් හුදෙක් පරිභෝජනය සීමා කිරීමෙන් ඔබ්බට ගොස්, මෙම අර්බුදය කළමනාකරණය කිරීමට රජය විධිමත් සහ තිරසාර වැඩපිළිවෙළක් කරා යොමුවිය යුතුය.

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ දී පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීමට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ලොව බොහෝ දියුණු රටවල පෞද්ගලික වාහන පරිහරණය අවම මට්ටමක පවතින අතර, ඔවුන් ප්‍රමුඛතාව දෙන්නේ ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් පොදු ප්‍රවාහන සේවා සඳහාය. එමගින් සමස්ත රටේම බලශක්ති පිරිවැය සහ මාර්ග තදබදය අවම කර ගැනීමට ඔවුහු සමත්ව සිටිති. එහෙත් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය දෙස බැලීමේ දී එහි ගුණාත්මකභාවය පිළිබඳව බරපතළ ගැටලු‍ පවතී. පසුගිය කාලසීමා තුළ මෙම සේවා වැඩිදියුණු කිරීමට විවිධ උත්සාහ දැරුව ද, ඒවා සාර්ථක වූයේ නැත. එබැවින් රජය මේ අවස්ථාවේ දී හුදෙක් තාවකාලික විසඳුම්වලට සීමා නොවී, දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායක වැඩසටහනක් හරහා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය. බස් සහ දුම්රිය සේවා ඒකාබද්ධ කරමින් නවීන තාක්ෂණය භාවිත කිරීමෙන් ජනතාව පොදු ප්‍රවාහනයට ආකර්ෂණය කර ගැනීම මෙහිදී තීරණාත්මක වනු ඇත. බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

එසේම, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමෙන් ජනතාව මත පැටවෙන අධික පීඩනය සමනය කිරීමට, ඉන්ධන මත පනවා ඇති බදු යම් ප්‍රමාණයකින් ලිහිල් කර මිල ස්ථාවරව පවත්වා ගැනීම ආර්ථික ක්‍රියාවලියට ඉතා වැදගත් වේ. මන්ද යත්, මෙම හදිසි මිල ඉහළ යාම මහජනතාවට දරාගත නොහැකි ක්ෂණික පීඩනයක් ඇති කරන බැවිනි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් ගිවිසුම්වලට අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පිරිවැයට සරිලන මිලක් අය කළ යුතු වේ. මෙවැනි තත්වයක් තුළ, ජාත්‍යන්තර කොන්දේසි ආරක්ෂා කරන අතරම දේශීය ජනතාවගේ ජීවන බර ලිහිල් කිරීමට රජය ඉතා උපක්‍රමශීලී වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුය.

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ නාවික ප්‍රවාහන ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ප්‍රධාන නැව් සමාගම් රැසක් අමතර ගාස්තු අය කිරීමට තීරණය කර ඇති අතර, පවතින අවදානම හේතුවෙන් රක්ෂණ වාරික ද ඉහළ දමා තිබේ. එසේම, ආරක්ෂිත නාවික මාර්ග වෙනස් කිරීමට වීම නිසා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගතවන කාලය සහ පිරිවැය තවදුරටත් ඉහළ ගොස් ඇත. මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ආනයන සහ අපනයන ක්‍රියාවලියට ඍජුවම බලපායි.

ආනයන අංශය සලකා බැලීමේ දී, ශ්‍රී ලංකාව ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බෙහෙවින් ආනයනය මත යැපෙයි. ඉන්ධන මිල සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළ යන අතර, එමගින් රට තුළ දැඩි උද්ධමනකාරී පීඩනයක් නිර්මාණය වේ. සැපයුම් දාම ප්‍රමාදවීම හේතුවෙන් වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිවීමේ අවදානම ද පවතී.

අපනයන ක්ෂේත්‍රය ගත් කල, ප්‍රධාන වශයෙන් තේ, ඇඟලු‍ම් සහ රබර් වැනි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින තරගකාරීත්වයට මුහුණ දීමේ දී දැඩි අභියෝගයකට ලක් වේ. නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා ඉන්දියාව සහ වියට්නාමය වැනි රටවල් සමග මිල අනුව තරග කිරීමට අපට ඇති හැකියාව අවම වේ. අපනයනකරුවන් කලින් එකඟ වූ මිල ගණන් යටතේ භාණ්ඩ යැවීමේ දී, ඉහළ ගිය ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු දැරීමට සිදුවීමෙන් ඔවුන්ගේ ලාභාංශ ශූන්‍ය වේ. ඇමෙරිකාව සහ මැදපෙරදිග වැනි අපේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ කරා භාණ්ඩ යැවීමට ඇති අවස්ථා සීමාවීම බරපතළ ආර්ථික ගැටලු‍වකි. අපනයන ක්ෂේත්‍රය බිඳ වැටුණහොත් කර්මාන්තශාලා වැසී යාම සහ රැකියා අහිමිවීම හරහා දේශීය ආර්ථිකය නැවතත් දැඩි අර්බුදයකට ලක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයීමේ ප්‍රධානතම මාර්ගය වන්නේ විදේශ ප්‍රේෂණයි. වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක පමණ ප්‍රමාණයක් මෙරටට ලැබෙන අතර, ඉන් වැඩි ප්‍රතිශතයක් උපයනු ලබන්නේ ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසිනි. කෙසේ වෙතත්, වර්තමාන යුද වාතාවරණය හේතුවෙන් එම රටවල රැකියා අවස්ථා සීමාවීමේ අවදානමක් පවතින අතර ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද බරපතළ ගැටලු‍ මතු වී තිබේ. යම් හෙයකින් මෙම ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සිදු වුවහොත්, රජයට ලැබෙන විදේශ විනිමය අහිමිවනවා මෙන්ම ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ද අතිරේක පිරිවැයක් දැරීමට සිදු වේ. මීට අමතරව, යුද්ධය හේතුවෙන් එම රටවල බැංකු පද්ධති සහ මුදල් හුවමාරු මධ්‍යස්ථාන අඩාළ වුවහොත් ප්‍රේෂණ ගලා ඒම මුළුමනින්ම නතරවීමේ අවදානමක් ද පවතී.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. අප රටට පැමිණෙන ගුවන් යානා බහුතරයක් ගල්ෆ් කලාපයේ ගුවන් තොටුපොළ මධ්‍යස්ථාන කර ගනිමින් ක්‍රියාත්මක වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. එම කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇති අතර, මීට පිළියමක් ලෙස සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල් සමග සාකච්ඡා කර නව ගුවන් මාර්ග ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. එවැනි ඍජු ගමනාන්ත ස්ථාපිත කිරීමේ දී පිරිවැය ඉහළ යාමේ ගැටලු‍වක් පවතින නමුත්, ගල්ෆ් කලාපය මගහරිමින් පියාසර කිරීමට හැකිවීම හරහා සංචාරක විශ්වාසය තහවුරු කළ හැකිය. 

දේශීය වශයෙන් ගත් කල, ඉන්ධන සහ භාණ්ඩ මිල ඉහළ යාමෙන් සංචාරක හෝටල්වල පවත්වාගෙන යාමේ පිරිවැය බෙහෙවින් ඉහළ ගොස් ඇත. මෙය ජාත්‍යන්තර සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට පවතින තරගකාරීත්වයට බාධාවකි. එබැවින්, කිසියම් ක්‍රමවේදයක් හරහා හෝටල් ක්ෂේත්‍රයේ පිරිවැය පීඩනය අවම කර, ලෝකයේ අනෙකුත් සංචාරක ගමනාන්ත සමග කරට කර තරග කළ හැකි මිල ගණන් සහ සහනදායී පැකේජ සංචාරකයන්ට හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.

යුද්ධයක් අවසන් වූ සැණින් ඉන් ඇතිවූ සමාජීය සහ ආර්ථික බලපෑම් ක්ෂණිකව පහව යන්නේ නැත. රටක් යථා තත්වයට පත් කිරීමේ දී දිගුකාලීන සහ ස්ථාවර ජාතික ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාව දැඩිව පවතී. මෙහිදී ප්‍රමුඛතම මාතෘකාව වන්නේ ආහාර සුරක්ෂිතතාවයි. මැතිවරණ වේදිකාවල දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන නිරන්තරයෙන් කතා කළ ද, කොවිඩ් වසංගතය සහ ඉන්පසු ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි ආහාර හිඟය පිළිබඳ අමිහිරි අත්දැකීම් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අමතක නොවිය යුතුය. යථාර්ථවාදී ජාතික ආර්ථික වැඩපිළිවෙළක් තුළ දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම ප්‍රධාන කාර්යභාරයක් විය යුතුය.

බලශක්ති සුරක්ෂිතතාව උදෙසා අප සතු සම්පත් නිසි ලෙස කළමනාකරණය කළ යුතුය. 1971 සිට මෙරට තෙල් නිධි පිළිබඳව කතාබහක් පැවැතිය ද, ඒවා ප්‍රයෝජනයට ගැනීමට මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් සකස් වී නැත. මේ පිළිබඳව අවධානය යොමු කිරීම දීර්ඝ කාලීන වශයෙන් රටට විශාල වාසියක් වනු ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා සුලබව ලැබෙන සූර්ය බලශක්තිය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ප්‍රවර්ධනය කළ යුතුය. එහිදී ජනනය වන අතිරික්ත විදුලිය ගබඩා කර තබා ගැනීමේ තාක්ෂණික පියවර වෙත යොමුවීම හරහා බලශක්ති පිරිවැය අවම කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකිය.

වර්තමානයේ අප මුහුණ දී සිටින බොහෝ අර්බුද අපේ පාලනයෙන් බැහැරව පවතින ගෝලීය තත්වය මත පදනම් වූ ඒවාය. මෙය හුදෙක් අපේ රටට පමණක් පාලනය කළ හැකි තත්වයක් නොවන බැවින්, මෙහිදී වඩාත් වැදගත් වන්නේ මතුවන අභියෝග හමුවේ ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කරමින්, එමගින් ජන සමාජයට සහ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීමට පියවර ගැනීමයි.

 

(***සටහන ශෂිකා අබේරත්න)