(යොහාන් භාසුර)

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙවත් ‘ජිට් - 2026 විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම විභාගය සඳහා අයදුම්පත් ජූලි මස 16 වැනිදා දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බවත් සියලුම අයදුම්පත් පාසල් විදුහල්පතිවරු හෝ ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පැවසයි. රජයේ සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස අදාළ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත් අපේක්ෂකයන්ට තනි තනිව අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවසර නොමැති බවත් විභාග දෙපාර්තමේන්තුව කියයි.

පාසල් බලධාරීන්ට දැනටමත් දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කර අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව කියන විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද අයදුම්පතේ මුද්‍රිත පිටපතක් අනාගත පරිශීලනය සඳහා ආරක්ෂිතව තබා ගත යුතු බව ද සඳහන් කරයි.

මෙම වසරේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් සහ 2027 දී ප්‍රථම වරට උසස් පෙළ විභාගය සමත් වූවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබති. පෞද්ගලික පාසල් අපේක්ෂකයින් සඳහා, ශිෂ්‍ය තොරතුරු අදාළ තොරතුරු දත්ත ගබඩාවට ඇතුළත් කිරීමෙන් පසු විභාග ගාස්තු ගෙවිය යුතුය.

ගෙවීම් ක්‍රියාවලිය අවසන් වූ පසු අමතර සිසුන් ලියාපදිංචි කළ නොහැකි බව කියන එම දෙපාර්තමේන්තුව වැඩිදුර තොරතුරු 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ 011 2784537, 011 2786616 සහ 011 2784208 හරහා විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකි බව ද වැඩි දුරටත් සඳහන් කරයි.