
(යොහාන් භාසුර)
මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම අහෝසි කිරීමෙන් මැතිවරණයකදී රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් පමණ මහජන මුදල් ඉතිරිකිරීමේ හැකියාව ලැබෙන බව මෙම තීරණය සෑම අතින්ම ඉතාම හොඳ තීරණයක් බවත් ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (24) පැවසීය.
රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹ 6, පිහිටි ‘පැෆ්රල්’ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
මෙම යෝජනාව හදිසියේ මතුවූ එකක් නොව, වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්රයේ, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලක් වූ කරුණක් බවත් මෙම ක්‍රමවේදය ඉවත් කිරීමෙන් තීන්ත ආනයනය කිරීම, බෙදා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාවලිය සඳහා වැය වන මුදල සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී මැතිවරණ වියදම් අඩු කිරීමෙන් මහජන මුදල්ද ඉතිරි කරගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතා පත්‍රය අනිවාර්ය කර තිබීම හේතුවෙන් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කිරීම දැඩි කෙරෙන අතර එම නිසා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථා ද සැලකිය යුතු ලෙස අවම වී ඇති බවත් මේ හේතු මත නොමැකෙන තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාවය පෙර මෙන් දැඩි ලෙස නොපවතින බවට අදහස කාලයක සිට ඉදිරිපත්ව තිබූ බවත් ඒ මහතා කීය.
ඡන්දදායකයෙකු ඡන්දය භාවිතා කළ බව තහවුරු කිරීම සඳහා ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීම දශක ගණනාවක් සිට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ කොටසක් බවත් ඡන්ද ලේඛන කසක්කිරීමට තාක්ෂණය භාවිත කිරීමත් සමග හොර ඡන්ද භාවිතා කිරීමට වර්තමානය වන වි අවස්ථාවක් නොමැති බවත් හෙට්ටිආරච්චි මහතා කීය.
හොර ඡන්ද දැමීම සහ එක් පුද්ගලයෙකු එක මැතිවරණයකදී කිහිප වරක් ඡන්දය භාවිතා කිරීම වැළැක්වීම සඳහා ඉතා වැදගත් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීම පැවැති බව කී ඒ මහතා කෙසේ වෙතත් වර්තමානය වන විට තීන්ත ආලේප කිරීම ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
ඉතිහාසය දෙස බැලූ විට අතීතයේ හොර ඡන්ද දැමීම් සහ ද්විත්ව ලියාපදිංචිවීම් පිළිබඳ ගැටලු පැවතුණ ද එම තත්ත්වය තුළ තීන්ත ආලේප කිරීම හරහා ඡන්දදායකයෙකු නැවත ඡන්දය භාවිතා කිරීම වැළැක්වීමට හැකි වූ බවත් කෙසේ වෙතත්, මේ වන විට තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවත් 2010 වසරට පෙර පැවති තත්ත්වයට වඩා වර්තමානය වන විට ඡන්ද නාමලේඛන පද්ධතිය තාක්ෂණික වශයෙන් ඉතා දියුණු වී තිබෙන බවත් ඔහු කීය.
මැතිවරණ කොමිෂන් සභාවට අන්තර්ජාල සහ දත්ත පද්ධති භාවිතයෙන් ද්විත්ව ලියාපදිංචිවීම් හඳුනාගෙන ඉවත් කිරීමේ හැකියාව ඇති අතර උදාහරණයක් ලෙස එකම පුද්ගලයෙකු විවිධ නම් හෝ විවිධ ස්ථාන භාවිත කරමින් ලියාපදිංචි වීමට උත්සාහ කළද, වර්තමාන පද්ධති හරහා එවැනි අක්‍රමිකතා හඳුනාගත හැකි බව කී හෙට්ටිආරච්චි මහතා සදඟන් කළේ අතීතයේ පැවති ආකාරයට එක් පුද්ගලයෙකුට ස්ථාන කිහිපයකින් ලියාපදිංචි වී ඡන්දය භාවිතා කිරීමේ ඉඩකඩ නොමැති බවත්ය.
කෙසේ වෙතත් මැතිවරණවල විශ්වාසනීයත්වය කිසිසේත් අඩු නොවිය යුතු මෙන්ම දේශපාලන පක්ෂවල සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරමින්, මෙම තීරණය පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙන යාම වැදගත් බව කී ඒ මහතා පැවසුවේ මෑත කාලයේ හොර ඡන්ද දැමීම් අවම වී ඇත්තේ තීන්ත ආලේප කිරීම නිසා පමණක් නොව, අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් වීම, ඡන්ද නාමලේඛන පද්ධතිය වඩාත් නිවැරදි සහ විධිමත් වීමත් නිසා බවත්ය.
ඒ හේතුවෙන් මෙම තීරණය මැතිවරණයේ විශ්වාසනීයත්වයට තර්ජනයක් නොවන්නේ යැයි විශ්වාස කරන අතර අනාගතයේදී මෙම වෙනස්කම හේතුවෙන් යම් ගැටලුවක් මතුවන්නේ නම්, එය නැවත සළකා බැලීමේ හැකියාව සෑම විටම පවතින බවත් දැනට පවතින තාක්ෂණික සහ නීතිමය ආරක්ෂක ක්‍රමවේද සැළකිල්ලට ගත් විට, නොමැකෙන තීන්ත ආලේප කිරීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් නොවන බව පෙනී යන බවත් ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd