(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවාවේ සේවා කාණ්ඩ හතරක් යටතේ නිලධාරීන් 223 දෙනකුට නව පත්වීම් ප්‍රදානය කර තිබේ.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය, මෙහෙයුම් හා සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම පත්වීම් ලබා දී ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා 36 දෙනෙකුට ද, ගබඩාකරු තනතුරු සඳහා 27 දෙනෙකුට ද, සුළු සේවා පාලක තනතුරු සඳහා 6 දෙනෙකුට ද, සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා 154 දෙනෙකුට ද වශයෙන් පත්වීම් පිරිනමන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට වසර දෙකකට පෙර පැවැති මහ මැතිවරණයෙන් ලැබූ ජනවරමට වසර දෙකක් සපිරෙන මොහොතේ නව නිලධාරීන් පිරිසකට රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව සැලසීම සතුටට කරුණක් බවත්, රාජ්‍ය සේවයට එක්වන එම සියලු නිලධාරීන් ගෞරවයෙන් පිළිගන්නා බවත් පැවසීය.